දිනසේන රතුගමගේ –
වවුනියාව සෙට්ටිකුලම පැරණි දුම්රිය ස්ථානය අසල ඉඩමක කිසියම් කෙනෙකු අයකු විසින් පිහිටුවන ලද බුදු පිළිමය අතුරුදහන් වී ඇති බවට එක් පුද්ගලයකු 10 දා සෙට්ටිකුලම පොලිසියට පැමිණිලි කොට තිබේ.
ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කොට ඇත්තේ ඊට යාබද ඉඩම ඔහුගේ වීම නිසා බුදු පිළිමය අතුරුදහන් වීමේ සිද්ධියට ඔහුව සැක කිරීම වළක්වා ගැනීමටය.
මේ අතර බුදු පිළිමය තබන ලද බවට සැකපිට එක් පුද්ගලයෙකු සෙට්ටිකුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට නිදහස් කොට තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ ඔහු මන්ද මානසිකභාවයෙන් පෙළෙන රෝගියකු බවයි.
හදිසියේම මේ ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා සෙට්ටිකුලම ප්‍රදේශයේ ජනතාව දැඩි සේ කිපී සිටි බවටද වාර්තා වේ.
ඔවුන් ඉල්ලා සිට ඇත්තේ බෞද්ධයන් නොමැති පළාතක තබන ලද එම බුදු පිළිමය වහාම ඉවත් කරන ලෙසයි.
බුදු පිළිමය තැන්පත් කිරීම හා අතුරුදහන්වීම යන සිද්ධින් සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.