ශ්‍රියානි විජේසිංහ –
සම සුදුවීමට ආලේපනයන් හෝ එන්නත් කිසිවක් නොමැති බැවින් එවැනි ප්‍රචාරණයන් පිළිබඳව නොරැවටෙන්නැයි කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට තරුණ ප්‍රජාවට දැනුම් දී සිටියි.
සම සුදුකර ගැනීමට ලංකාවේ තබා ලෝකයේ හෝ කිසිම එන්නත් සඳහා අවසර දී නොමැති බවත් විවිධ ආලේපනයන්ට රසදිය , ස්ටෙරොයිඩ් (steroids), රෙටිනොයිඩ් (retinoids), හයිඩ්‍රොක්විනොන් (hydroquinone) හා බැරලෝහයන් විශාල වශයෙන් අඩංගු කිරීම හේතුවෙන් සමේ ස්වභාවිකත්වය වර්ණනය කරන මෙලනින් වර්ණකය මරා දැමීම හේතුවෙන් සම සුදුමැළිවීමක් පමණක් දක්නට ලැබනෙ බවත් විශේෂඥවරිය පෙන්වාදේ.
ආලේපනයන් තුළ රසදිය අන්තර්ගත කළ යුත්තේ කිලෝග්රෑම් 1ට මිලිග්රෑම් 1ක් පමණක් වුවද ඇතැම් ආලේපනයන් තුළ ඊට වඩා දහස් ගුණයක් පමණ රසදිය අඩංගු බව ඇය පවසයි.
මෙම ක්‍රීම් වල ස්ටෙරොයිඩ් අධික සාන්ද්‍රණයකින් එකතු කර ඇති බැවින් . මේ ස්ටෙරොයිඩ් නිතරම සමේ ගැල්වීම නිසා සම තුනී වී පුපුරලා පැලීයා හැකි බවත් එය නැවත යථා තත්තවයට පත් කළ නොහැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය පවසයි. එමෙන්ම සම ඉක්මනින් වයසට යෑම, දිලීර ආසාදනයන්ට ගොදුරුවිමේ අවකාශය වැඩි වීම සිදුවන බව විශේෂඥවරිය පෙන්වා දෙයි.
ඇය පවසන්නේ ස්ටෙරොයිඩ් බරපතල අනතුරු ගණනාවක්ම අපට ඇති කරන අතර සම හරහා ලේ වලට අවශෝෂණය වී ශරීරය පුරා පැතිර ගොස් දියවැඩියාව, හෝමෝන අසමතුලිතතාවයන්, ඇසේ පීඩනය වැඩි කර අන්ධභාවය ඇති කිරීම , අස්ථි දිරීම වැනි භයානක තත්ත්ව උදාහරණ ලෙස දැක්විය හැකි බවය.
තවද ක්‍රීම් වල රසදිය ඇතුළු බැරලෝහයන් විශාල වශයෙන් අන්තර්ගතව පවතින බැවින් සම හරහා අවශෝෂණය වී වකුගඩු, ස්නායුරෝගයන්, පිලිකාවන් මෙන්ම මව්කිරි හරහා වැදෑමහ හරහා ගමන් කර නූපන් දරුවන්ට පවා ආබාධයන් ඇතිකල හැකි බව ඇය හෙළිදරවු කරයි.







