චීන රජය සමග එක්ව පාසල් පද්ධතිය සඳහා මධ්‍යගත මෙහෙයුම් මැදිරියක් සහිත පද්ධතිගත සුහුරු පන්තිකාමර ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡාවක් පවතින අතර ව්‍යාපෘතියේ අවසාන පියවරක් ලෙස පැවතුන රුපියල් බිලියන 1.7ක් වටිනා සුහුරු පුවරු කැබිනට් අනුමැතිය ලද ක්‍රමවේදයට පිටින් මාසයක් තුළ මිලදී ගෙන මේ වනවිට පත්තලගෙදර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගබඩාවක ගොඩ ගසා ඇති බවත්, චීන රජය සමග සැලසුම් කර ඇති ව්‍යාපෘතිය මේ වනවිට පවතින්නේත් සාකච්ඡා මට්ටමේ බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරිය පාර්ලිමේන්තුවට හෙළි කරනු ලැබුවාය.
මේ රුපියල් බිලියන 1.7ම මේ වනවිට ව්‍යාපෘතියට කිසිසේත් අදාල නොවන ඌණ උපයෝජනයක්වන ආකාරය ඇය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරිය ලෙස අගමැතිවරිය පාර්ලිමේන්තුවට කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.
පාසල් පද්ධතිය සදහා පද්ධතිගත සුහුරු පන්ති කාමර ලබා දීම මගින් අධ්‍යාපනය පහසු කිරීම යන අරමුණිනින් තොරා ගත් පාසල් 1000ක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුදල් භාවිතා කරමින් සුරහුරු පුවරු සහ අනෙකුත් උපකරණ ලබා දීමට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයක් සඳහා අංක අමප/24/0385/601/027 හා 2024 මාර්තු 4 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අනුමැතිය හිමි වී ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අංක අමප/ 24/0978/630/009 හා 2024 මැයි 14 දිනැතිව වැඩි දුරටත් ඉදිරිපත් කර තිබේ.
එමගින් යෝජනා කර ඇත්තේ චීන රජයෙන් යෝජිත පාසල් ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතියට සමපාතීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටය.
චීන රජය එම ව්‍යාපෘතිය මගින් මධ්‍යගත පාලන මැදිරියක් සහ චිත්‍රාගාරයක් ඉදි කිරීමටත් අමතර සුහුරු පුවරු 500ක් ලබා දීමටත් යෝජනා කර තිබිණි.
ඒ අනුව මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම මගින් පාසල් 1500ක් සඳහා ජාලගත සුහුරු පන්ති කාමර ඇති කිරීමට යෝජනා වී තිබේ.
මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම සඳහා චීන රජය විසින් ලබා දීමට නියමිත සුහුරු පුවරුවල පිරිවිතරයන්ට සමානවන අයුරුන් ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලබන සුහුරු පුවරු ද මිලදී ගත යුතු බවට ඉහත අමාත්‍ය මණ්ඩල තීරණයෙන් තීරණය වී ඇත.
2024 මැයි 14 දිනැති ඉහත අමාත්‍ය මන්ඩල තීරණය අනුව ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගැනීමට යෝජිත වූ සුහුරු පුවරු දහස මිලදී ගැනීමේ කටයුතු 2024 ජූලි මාසයේ දී ආරම්භ කර තිබේ. නමුත් එම මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වනවිට ද චීන රජය විසින් ආරම්භ කිරීමට ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘතිය පැවතියේ සාකච්ඡා මට්ටමේය. එමෙන්ම ඔවුන් විසින් ලබා දීමට නියමිත සුහුරුපුවරුවල පිරිවිතරයන් සම්බන්ධ කිසිදු නිල එකඟතාවයකට එළඹී නොතිබුන බව නිරීක්ෂණය වී තිබේ.
කෙසේ වෙතත් පැහැදිලි නොවුන මූලාශ්‍රවලින් ලබා ගත් සහ චීන රජය විසින් නිල වශයෙන් තහවුරු නොකළ පිරිවිතරයන් උපයෝගී කර ගනිමින් විවෘත මිල ගණන් කැඳවීමකින් තොරව එක් සැපයුම්කරුවෙක් වෙතින් මිල ගණන් ලබාගෙන ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා අදාල මිලදී ගැනීම සිදුකර ඇත.
ඒ සදහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැය කර ඇති මුදල රුපියල් බිලියන 1.7කි. ඊට අමතරව සේවා සහ ඉදිකිරීම් ගාස්තු ලෙස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 430ක මුදලක් තව දුරටත් ගෙවීමට ගිවිසුම්ගතව තිබේ.
ඉහත මිලදී ගැනීම් මෙවැනි ඉහළ අගයකින් යුත් මිලදී ගැනීමක් සිදුකිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය හා සංසන්දනය කරන විට අස්වාභාවික ලෙස වේගත්ව සිදුකර ඇති බව නිරීක්ෂණය වේ.
- එනම් 2024 ජූලි 5 දින මිල ගණන් කැඳවා
- එම මිල ගණන් 2024 ජූලි 15දා විවෘත කර
- 2024 ජූලි 16වන විට තාක්ෂණික ඇගයිීම් කමිටුවට යොමු කර වාර්තාව ලබා ගෙන අවසන් කර තිබේ.
- අදාල වාර්තාව අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් 2024 ජූලි 17 සහ 18 දිනයන්හි සලකා බැලීමෙන් පසු එදිනම සිය නිර්දේශ ලබා දී තිබේ.
- ඉහත නිර්දේශයන් 2024 ජූලි 23 දිනැතිව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
- ඒ සඳහා අනුමැතිය 2024 ජූලි 30 ලැබීමෙන් පසු මිලදී ගැනීමේ ඇනවුම 2024 අගෝස්තු 5 දින සැපයුම්කරු වෙත ලබා දී තිබේ.
“ඒ කියන්නේ මුළු ක්‍රියාවලියටම ගිහින් තියෙන්නේ මාසයයි. අගමැතිවරිය කීවාය.”
මෙම මිලදී ගැනීමේ දී සුහුරු පුවරු 1000ක් සඳහා CIF අගයවන ඇමරිකානු ඩොලර් 31,35,392.90ක වටිනාකමක් හුවාවි ආයතනයේ නියෝජිතයා ලෙස දැක්වෙන Intelligent Express Limited Hong Kong වෙත ණයවර ලිපියක් විවෘත කිරීම මගින් ගෙවා ඇති අතර හුවාවි ආයතනය චීන ආධාර ව්‍යාපෘතිය යටතේ සුහුරු පුවරු සපයන නිශ්පාදකයා ලෙස අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දක්වා තිබුණ ද මේ දක්වා එවැනි සැපයුම්කරුවෙකු මෙම ව්‍යාපෘතිය සදහා තෝරා ගැනීම සම්බන්ධව චීන රජය සනාථ කර නොමැත.
ඉහත ඇනවුම පරිදි අදාල සුහුරු පුවරු ඇතුළු අනෙකුත් උපකරණ 2024 ඔක්තොම්බර් මාසයේ පමණ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති අතර ඒවා දැනට පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගබඩා කර ඇත.
ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලැබූ ඉහත සුහුරු පුවරු මිලදී ගැනීම අවසන් කර තිබුණ ද චීන රජය අධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අදාල ව්‍යාපෘති කොටස මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති අතර ඒ සඳහා අවසන් එකඟතාවයක් ද එළඹ නොමැත.
චීන රජය විසින් ලබාදීමට යෝජිත වූ ජාලගත කිරීමේ පහසුකම් සහිත මධ්‍යගත පද්ධතිය පිළිබඳව අවසන් එකඟතාවයකට එළඹීමට පෙර මෙම සුහුරු පුවරු මිලදී ගැනීම හේතුවෙන් අපේක්ෂා කළ කාරණයට කිසිසේත්ම එම උපකරණ යොදා ගැනීමට නොහැකි වීම තිබේ.
දැනට ද සාකච්ඡා මට්ටමින් පවතින චීන ආධාර ව්‍යාපෘතිය මේ වසර අවසන් වන තෙක් හෝ කාලය ගතවන බවට අපේක්ෂා කළ හැකිය.
එසේම ඒ සඳහා තෝරාගනු ලබන සැපයුම්කරු පිළිබඳ කිසිම තීරණයක් මෙතෙක් නිල වශයෙන් දක්වා නොමැත. මෙම තත්ත්වය මත දැනට ගබඩාව වෙත ලැබී ඇති මෙම සුහුරු පුවරු දහස සහ අනෙකුත් උපකරණ පාසල්වලට බෙදා දීම සිදුකරන්නේ නම් එය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව නිශ්චිත උපදෙස් විදුහල්පතිවරයාට ලබා දිය යුතුය. චීන ආධාර මත ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක නොවීම තුළින් මෙම උපකරණ සවි කිරීම සහ භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධව නිශ්ඡිත උපදෙස් ලබා දීමට නොහැකි වී තිබේ.
මෙම අවස්ථාවේ දි අදාල සුහුරු පුවරු ජාලගත කිරීමට නොහැකි හෙයින් ඒවා භාවිත කළ හැක්කේ තනි පන්ති කාමර වශයෙන් පමණි. එමගින් මෙම ව්‍යාපෘතියේ අරමුණු කිසිසේත් ඉටු නොවන අතර මේ දක්වා කර ඇති රුපියල් බිලියන 1.7ක ආයෝජනය ඌන උපයෝජනයක් ලෙස දැකිය හැකිය.
මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුවී ඇතිද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් දැනට චීන රජය සමග ද සාකච්ඡා කරනු ලබන අතර හැකි ඉක්මනින් චීන රජයෙන් යෝජිත පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.







