සීතා ඇතින්නට වෙඩි තැබුවේ වන අලියෙකු යැයි සිතා බවට වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරියා කළ ප්‍රකාශය අනුව වනජීවි දෙපාර්තමේන්තුව වන අලි පන්නා දැමීමට අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගින බව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන් ගේ සංගමයේ සභාපති, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.
මෙම වෙඩි ප්‍රහාරය සැබෑ ලෙසම වන අලියෙකුට එල්ල වූයේ නම් එම සතා කැලය තුළ දී අප්‍රමාණ දුකක් විඳ ඇතැම් විට මිය යෑමට පවා ඉඩ තිබුන බව ද දියවඩන නිලමේ වරයා කීය.
අත්වැරදීම් කා අතිනුත් සිදුවිය හැකි නමුත් මේ ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කරන්නට විශේෂයෙන් සතුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියෙකු කටයුතු කළේ ඇයි ද යන්න සම්බන්ධව ගැටලු පැන නගින බව ඔහු කීවේය.
වනජීවි දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙම වෙඩි ප්‍රහාරය රබර් උණ්ඩ භාවිත කර සිදුකළ එකක් ද යන්න ප්‍රශ්නයක් බවත් මේ වනවිට තුවාල ඇති ස්ථාන ඉදිමී පැසවන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් කී දියවඩන නිලමේවරයා රබර් උණ්ඩයකින් එවැනි තත්ත්වයක් ඇති නොවන බව පශු වෛද්‍යවරු පෙන්වා දෙන්නේ යැයි ද අවධාරණය කළේය.
මේ ආකාරයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරියෙකු මීට පෙර හීලෑ අලියෙකුට වෙඩි තබා නොමැති බවත් මෙම වෙඩි ප්‍රහාරයෙන් වන අලින්ට සිදුවන හානිය සම්බන්ධව ද යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි බවත් දියවඩන නිලමේවරයා කීවේය.
වෙඩි වැදී තුවාල ලබා සිටින වන අලින්ට සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව චෝදනා එල්ල කරන්නේ ගොවීන් ට හෝ දඩයම් කරුවන්ට බවත් මේ ආකාරයෙන් අලි පලවා හැරීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරන වෙඩි තැබීම් නිසා ද වන අලි බරබතළ ලෙස තුවාල ලැබිය හැකි බවත් මෙම සිද්ධිය ඔස්සේ පැහැදිලි වන බවත් හෙතෙම පැවසුවේය.
මේ අවස්ථාවේ එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමට වඩා වැදගත් වන්නේ සීතා ඇතින්න ප්‍රතිකාර කර සුවකර ගැනීම බවත් වන අලි පන්නා දැමීමට මේ ආකාරයේ උණ්ඩ භාවිත කිරීම සුදුසු නොවන බව තේරුම් ගැනීම වැදගත් බවත් දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.