ලලිත් චාමින්ද –
සිරකරු සුභසාධක අරමුදල මගින් ඉකුත් වර්ෂයේ දි (2021) සිරකරු සුභසාධනය සඳහා කිසිදු මුදලක් වැයකර නොතිබු අතර එකී සුභසාධක අරමුණු රාජ්‍ය අයවැය යටතේ ඉටුකරගත හැකි බව හෝ අරමුදල තවදුරටත් පවත්වාගෙනයාම අවශ්‍ය නොවේ යැයි පෙනී යන්නේ නම් එම අරමුදලේ කටයුතු වහාම අවසන් කිරීමට පියවරගත යුතු බව ජාතික විගණන කාර්යාල මගින් නිර්දේශකොට ඇත.
එහෙත් ඊට අනුගතව කටයුතුකර නොතිබුණු බවද විගණනය මගින් අනාවරණය කොට තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැය ශිර්ෂයෙන් වැය විෂයයන් තුනක් යටතේ මේ සඳහා රුපියල් 172, 17,29,057ක් (එකසිය හැත්තෑ දෙකෝටි දාහත් ලක්ෂ විසි නව දහස් පනස් හතක්) මුදලක් ඉකුත් වර්ෂයේ වැයකොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
සිරකරු සුභසාධක අරමුදලේ රුපියල් 45, 27,464ක ශේෂයක් පැවතියද සිරකරු සුභසාධන අරමුදලේ කාර්යභාරය වන සිරකරුවන් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් පැවැත්විම සදහා ඉන් කිසිදු මුදලක් වැයකර නොතිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.
සිරකරුවන්ගේ පොදු සුබ සිද්ධිය සඳහා ඉන් වියදම් දැරිම හා ඊට සම්බන්ද අනුෂාංශික සියලු කරුනු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක18 දරණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදල් පනත පිහිටුවා තිබුණි.
මේ පිළිබද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කළමණාකාරිත්වය විසින් විගණනයට ප්‍රකාශකොට ඇත්තේ මෙම අරමුදල පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳව කොමසාරිස් (පුනරුත්ථාපන) සමග නැවතත් සාකච්ඡාකිරීමට සටහන් කරගත් බවය
එම තීරණය මත ඉදිරි කටයුතු සිදුකරන බවය. එමෙන්ම සිකරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් අරමුදලේ පරමාර්ථයන් යම්තාක් දුරට හෝ ඉටුකරගැනීම සඳහා බාහිර ආයතන හා ස්වේච්ඡා සංවිධානවල අනුග්‍රහයෙන් වැඩසටන් ක්‍රියාත්මක කළ බවය.
සිරකරු සුභසාධක අරමුදල සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි..