කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
තමන් විසින් රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටින සාධාරණ ඉල්ලීම් ලබන 15දා වනවිට නොලැබුණහොත් ලංකාවේ සියලුම පුද්ගලික බස් රථ සංගම් එක් වී 18 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ බස් රථ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් ලංකාසරට පැවසීය.
ඔහු පවසන්නේ කොවිඩ් වසංගතය පටන්ගත් දවසේ සිට තමන් ඉල්ලූ අතිශ මානුෂික ඉල්ලීම්වන ලීසිං වාරිකය කල් දමා ගැනීම, මුළුමනින්ම ජීවිතය බිඳ වැටුණු බස් කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන්ට සියයට 4 සහන පොලියට ලක්ෂ 3ක් ලබා දීම, ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන මෙම වර්ජනය දියත් කිරීමට සූදානම් බව ලේකම්වරයා වැඩිදුරටත් කීය.
දුවන බස්රථ ටිකවත් පළාත්සභා හා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නියාමනයෙන් ධාවනය නොවන බවත් ඒ නිසා මගීන් මෙන්ම බස්රථ කර්මාන්තයේ යෙදෙනවුන් ද අසරණවන ආකාරය ඔහු පෙන්වා දුන්නේය.
මෙම ඉල්ලීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය තීරණය ගන්නට රජයට තව දින 09ක් තරම් ප්‍රමාණවත් කාලයක් ඇති බව ලේකම්වරයා පැවසුවේය.