කීර්ති ප්‍රනාන්දු
එළැඹෙන සිංහල අවුරුදු උත්සව සමය තුළ “සේල් සේල්” බෝඩ් ගසාගෙන කල් ඉකුත් වූ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ කූඨ ව්‍යාපාරිකයන් විසින් තොරතුරු වෙනස් කර විකිණීමට ඉඩ කඩ ඇති බැවින් පාරිභෝගික ජනතාවට විමසිලිමත්ව භාණ්ඩ මිලදී ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දෙයි .
එබැවින් ආහර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වීමේ දිනය බලා සෑහීමකට පත් නොවන ලෙසත් එම භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය ඉතා හොඳින් පරීක්ෂා කර බලන ලෙස පාරිභෝගික අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂක අසේල බණ්ඩාර කියා සිටි .
සේල් සහ විශේෂ වට්ටම් බව පවසමින් කූඨ වෙළඳුන් මෙන්ම නිෂ්පාදකයන් පාරිභෝගිකයන් රැවටීම සඳහා ගත් උත්සාහයන් මීට පෙරද වාර්තා වී ඇති බැවින් මෙවර උත්සව සමය තුළදී ඒ පිළිබඳව පාරිභෝගික ජනතාව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවද ඔහු පෙන්වා දෙයි .
මේ වන විට රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කූට වෙළදුන් වැටලීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ඉදිරි දිනවලදී එම වැටලීම් දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු කීය .
එබැවින් පාරිභෝගික ජනතාවට කිසියම් පැමිණිල්ලක් වෙතොත් පාරිභෝගික සේවා අධිකාරියේ 1977 දුරකථන අංකය අමතා තොරතුරු ලබාදීමට හැකි බවත් එසේ ලැබෙන පාරිභෝගික පැමිණි මත කටයුතු කරමින් පාරිභෝගිකයන් නොමඟ යවන කූට ව්‍යාපාරිකයන් හට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද අසේල බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය .