සිංහරාජ රක්ෂිත භූමි පරිශ්‍රයේ මහා පරිමාණ හෝටලයක් ඇතැයි පවසමින් මාධ්‍ය හමුවකදී ජාතික ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර මහතා කළ අපහාසය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා සිය නීතිඥයන් මගින් එන්තරවාසියක් යවා තිබේ.
පරිසරවේදී සජීව චාමිකර මහතා දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දි මුදල ගෙවිය යුතු බව දන්වමින් යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥයන් වන නීලකන්දන් සහ නීලකන්දන් නීති සේවා සමාගම විසින් එන්තරවාසිය යවා ඇත.
ඒ සජීව චාමිකර මහතා විසින් පසුගිය දහනවවන දා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇති පරිදි යෝෂිත රාජපක්ෂ මහතාට සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව එවැනි හෝටලයක් අයත්ව නැති බවත් අදාළ නීති සමාගම පවසයි.
තම සේවාදායකයාගේ හොඳ නම, කීර්තිය සහ සමාජ ස්ථාවරය අපකීර්තියට පත් කිරීම හා පදනම් විරහිත ව්‍යාජ ප්‍රබන්ධ චෝදනා සජීව චාමිකර මහතා විසින් ඉදිරිපත් කර ඇති බව ද අදාල නීතීඥ සමාගම පෙන්වා දී ඇත.
එම ප්‍රකාශය පිළිබඳ සිය සේවාදායකයාගෙන් සමාව අයැද සිටින ලෙසත් එය අදාළ අපහාසාත්මක ප්‍රකාශය පළකරන ලද සියලුම මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය, වෙබ් අඩවි වෙත වහාම දැනුම් දෙන ලෙසත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥයන් සජීව චාමිකර මහතා වෙත දන්වා තිබේ.
මෙම වන්දි මුදල ගෙවීමට නොහැකි වුවහොත් දින හතෙන් පසුව ඉදිරි නීතිමය පියවර ගන්නා බවද එම නීතිඥ සමාගම දන්වා ඇත.







