ශ්‍රි ලංකාවේ මිලියන ගණනාවක්වන දිළිදු ජනතාවට පොෂ්‍යාදායී ආහාර වේලක් සපයා ගැනීම මේ වනවිටත් කළ නොහැකි කාර්යයක් වී ඇති බවත් ඉදිරි සති කිහිපයේදී මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවත් ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.
මේ අනුව මේ වනවිට ශ්‍රි ලාංකික පවුල් සඳහා ජීවිතය රැක ගැනීමට ආහාර සහ පෝෂණය සැපයීම ලෝක ආහාර වැඩසටහන මුහුණ දී සිටින අසීරුතම අභියෝගයක් බව මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින ලෝක ආහාර වැඩ සටහනේ ආසියානු සහ පැසිෆික් කලාපය භාර අධ්‍යක්ෂ ජොන් අයිලීෆ් සඳහන් කරයි.
ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා ඇති අයිලීෆ් පවසා ඇත්තේ ලෝක ආහාර වැඩසටහන මගින් සමීක්ෂණයට ලක් කරන ලද පවුල් අතරින් සෑම පවුල් පහෙන් හතරක්ම තමන් ගන්නා ආහාර වේලෙක ප්‍රමාණය අඩු කිරීමට හෝ ආහාර වේලක් අත් හැරීමට කටයුතු කර ඇති බවයි. එය ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සැලකීමේදී ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් විශේෂයෙන් දරුවන් සහ කාන්තාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක් පවතින බවත්ය.
“ලෝක ආහාර වැඩසටහන ශ්‍රි ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් කළ සමීක්ෂණවලදී සහ ඒ සඳහා සිදු කළ සම්මුඛ පරීක්ෂණවලදී මෙරට ඇතැම් ජනතාව ප්‍රකාශ කර ඇති පරිදි ඔවුන් සිය පෝෂීණීය ආහාර වේලක් ලබා ගැනීම් හැකියාව අහිමි ව තිබෙනවා. විශේයෙන් ආදායම් අඩු වීම, වාර්තාගත මට්ටමේ ආහාර මිල උද්ධමනය, ආහාර සැපයුම් දාමයේ පවතින බාධා නිසා මෙම සමීක්ෂණයට ලක් වූ පවුල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ආහාර ලබා ගැනීමේ අභියෝගවලට මුහුණ දී සිටිනවා. ශ්‍රී ලංකාවේ කුසගින්න තියුණු ලෙස ඉහළ යමින් පවතිනවා.”