සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය සැකකරුවෙක් අද (23) කටුනායක මාදුව වගුරු බිම් ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.
අද උදෑසන 6 ට පමණ මීගමුව කොට්ඨාස පාතාල මර්ධන ඒකකය විසින් කළ වෙඩි තැබීමකින් ඝාතනය වී ඇත්තේ හීනටියන මිනුවන්ගොඩ පදිංචි බුද්ධික දිනේෂ් සෝමවංශ ද සිල්වා නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. අද උදෑසන මෙම පුද්ගලයා මීගමුව කොට්ඨාස පාතාල මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී මාදුව වගුරුබිමක අත්බෝම්බයක් සහ පිස්තෝලයක් සඟවා තබා ඇතැයි සැකකරු අනාවරණය කර ඇත. එම ආයුද සොයා ගැනීම සඳහා අදාල සැකකරු සමග එම ස්ථානයට ගිය අවස්ථාවේ දී සැකකරු විසින් සඟවා තැබූ අත් බෝම්බය පොලිස් නිලධාරීන්ට එල්ල කිරීමට උත්සාහ කළ බවත් මේ උත්සාහයත් සමග පොලිසිය සැකකරු වෙඩි තැබූ බවත් පොලිසිය කියයි.
එම අත් බෝම්බය පුපුරා ගොස් නැති බැවින් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් විසින් අද උදෑසන එය පුපුරුවා හැරි බව පොලිසිය සඳහන් කරයි.
මේ වනවිට මිය ගිය පුද්ගලයාගේ දේහය මිගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.