අනුරාධපුර – පර්සි කුරුනේරු
උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදි ගලවා ඉවත් කොට සාලියපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අයිනේ ගොඩ ගසා තිබූ පැරණි රේල් පීලි හයක් කිසියම් පිරිසක් විසින් යකඩවලට විකිණීම සඳහා කැබලි වලට කපා කුඩා ප්‍රමාණයේ ඩක්කුවක පටවා හොර රහසේ ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඊයේ (15) අලුයම මගීන් රහිත හිස් මැදිරි අමුණා යාපනය කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය කළ දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳ අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කොට ඇත.
ගෑස් සහ ඔක්සිජන් ටැංකි භාවිතා කොට එම රේල් පීලි කපා යකඩවලට විකිණීමට සාලියපුර බණ්ඩාරපුලියන්කුලම දුම්රිය හරස් මාර්ගය අසලට ප්‍රවාහනය කොට එහිදී වාහනයකට පැටවීම සඳහා ඒවා මෙලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උපකරණ ප්‍රවාහනය කිරීමට භාවිතා කරන කුඩා ප්‍රමාණයේ ඩක්කුවක පටවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කරන්නට ඇති බවට පොලිසිය සක පහළ කරයි.
ඊයේ (15) අලුයම 12.30 ට පමණ සිද්ධිය වී තිබේ. මේ අතර කන්කසන්තුරේ සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා නවීකරණය කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ වේගයෙන් එම දුම්රිය ධාවනය කොට ඇත.
එම අවස්ථාවේ සාලියපුර දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයෙන් පිට ආරක්ෂිතව ගාල් කර තිබු ඩක්කුව පීලි ගත කර කපා පැටවු පිලි පටවාගෙන රැගෙන යමින් සිටි සොර කණ්ඩායම දුම්රිය තමන් සිටින දෙසට දුම්රිය ධාවනය වනු දැක ඩක්කුවෙන් පැන පලාගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
එම අනතුර සිදුවූ අවස්ථාවේ දුම්රියට හෝ සොර කණ්ඩායමේ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර ඩක්කුව මීටර් පනහක් පමණ දුරට ඇදි ගොස් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී තිබේ.
මේ අතර එම රේල් පිලි කැපීමට භාවිත කල බව කියන ගෑස් සහ ඔක්සිජන් සිලින්ඩර දෙකක් සහ තවත් උපකරණ කීපයක් පොලිසිය බාරයට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මගින් වැඩදුර විමර්ශන පවත්වයි.