රට තුළ නිශ්පාදනය වන ආහාර මෙන්ම ආනයනය කරන ආහාර ප්‍රමාණය අඩුවීමත් සමග සැප්තැම්බරය වනවිට ඇතිවීමට හැකි ආහාර හිඟය වළක්වා ගත හැකි බවත් ඊට සමස්ථ ශ්‍රී ලංකා වාසීන්ගේම අහාර පරිභෝජන රටාව වෙනසක් කළ යුතුව ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.
“රටේ සමස්ත ජනතාව මේ පිළිබඳ අවබෝධයෙන් අද සිටම මන්ගේ ආහාර පරිභෝජන රටාව වෙනස් කළ යුතු වෙනවා. ඒ සඳහා කළ යුත්තේ මේ දිනවල වැඩි වශයෙන් පවතින කොස් දෙල් මඤ්ඤොක්කා වැනි ආහාරවලට ප්‍රමුඛතාව දෙමින් තමන් සතුව ඇති සහල් ප්‍රමාණයන් ආරක්ෂා කරගැනීමයි. තම තමන් තමන්ගේ ආහාර රටාව පිළිබඳ අවධාරණය කරමින් හැකි තරම් සහල් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ද ආහාර රටාව වෙනස් කර මින් පවත්වාගෙන යාමද කාලීන විසඳුමක් .
“මේ අතර තම තමන්ගේ කාර්යබහුල ජීවිතය කළමනාකරණය කරගෙන හැකි පමණ මන්ගේ ගෙවත්තේ තමන්ට අවශ්‍ය පලා වර්ග අමුමිරිස් තක්කාලි වැනි ආහාර වගාවට යොමුවන්න… එය අනිවාර්යයි. “ හෙතෙම අවධාරණය කළේය.
ඉකුත් වසරේ සිට දේශීය සහල් නිෂ්පාදනයේ දී වරින් වර මතු වූ විවිධ ගැටලු මත අස්වනු ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු වූ බැවින් සහල් සංචිත ඇතිකර ගැනීමට නොහැකි වූ බව ද හෙතෙම කීය.
මාසිකව පරිභෝජනයට අවශ්‍ය වන සහල් ටොන් එක්ලක්ෂ අනූ පන්දහසක ප්‍රමාණය ඉදිරි ඔක්තෝබරයේ සිට පවත්වා ගත නොහැකි බැවින් සහල් හිඟයක් මතුවීමට ඉඩ ඇති බවද හෙතෙම කීය.
“2021 වසරේ මහ කන්නයේ අස්වැන්න 50% කින් අඩු වූ බැවින් වෙනත් වසර වල මෙන් සහල් ගබඩා කර තැබීමට නොහැකි වුනා. මෙවර යල කන්නයේදී ද වගා කර ඇත්තේ හෙක්ටයාර තුන්ලක්ෂ පහළොස් දහසක් පමණයි. මේ නිසා සැලකිය යුතු මට්ටමින් අස්වැන්න අඩු වෙනවා. 2023 වසරේ මහ කන්නයේ වගා කිරීම සඳහා අවශ්‍ය වන බිත්තර වී ට්‍රික් ටොන් 80,000 ක ප්‍රමාණය සපයා ගන්නේ මෙවර යල කන්යෙන්. ඒ නිසා එය පරිභෝජනයට ගත නොහැකි. “
“කුමන අර්බුද මැද වුව ද බිත්තර වී නිෂ්පාදනය කරන ගොවීන් ආරක්ෂා කරගැනීම පිණිස ඔවුනට හැකි සහන ලබා දෙමින් තිබෙන්නෙ… බිත්තර වී නිෂ්පාදනය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට ඇමතිවරයා එකඟ වී තිබීම ගැටලු රැසකට පිළිතුරක්…“
මහාචාර්යවරයා කීවේය. තවදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය බුද්ධි මාරඹේ අප ඉදිරියේ පවතින ගැටලුවට විසඳුම විස්තර කරන්නේ මෙසේය.
“යල කන්නයේ වී අස්වැන්න අඩුවන බවට ශෝක වෙමින් ඒ පිළිබඳ පසුතැවෙන වාට වඩා වගා නොකළ ඉඩම්වල ජලය රඳවා තබමින් මුං වැනි බෝග වගා කිරීමට දැන්ම කටයුතු කළ යුතුයි. අපි අපේ පෝෂණ මට්ටම අමතක කරන්න බෑ. මුං වැනි භෝග වගාවන් සඳහා යොමුවිය යුත්තේ ඒ නිසා…