රඹුක්කනදී සිදුවූ ඛේදවාචකය වැනි තත්ත්වයන්ට පසුබිම් වූ බරපතල දේශපාලනික සහ ආර්ථික අර්බුදවලට සංවේදී වෙමින් , ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් හරහා වහාම දේශපාලන ස්ථාවරත්වය ඇතිකරලීමට සර්වපාක්ෂික භාරකාර ආණ්ඩුවක් ඇති කරන ලෙසත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් බලගන්වන ලෙසත් රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් මේ වනවිට ජේයෂ්ඨ නීතීඥවරුන් කණ්ඩායමක් ඇතුළු වෘත්තිකයන් පිරිසක් විසින් රජය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සිය සංගමය අනුමත කරන බවත් වෛද්‍ය වෘත්තිකයන් ලෙස මේ මොහොතේ පීඩාවට පත් පාර්ශ්වයන්ට අවශ්‍ය සහය ලබා දීමට කැපවී සිටින බවත් එම සංගමය තවදුරත් ප්‍රකාශ කරයි.
රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ඊයේ දිනයේ (19.04.2022) රඹුක්කනදී සිදුවූ ඛේදවාචකය හමුවේ අප සියලු දෙනාම මේ මොහොතේ මහත් කම්පාවට පත්වී සිටිමු. මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය සහ සාමය ආරක්ෂා කිරීමටත් බැදී සිටින පොලිසිය විසින් සිදුකරන ලද මෙම ක්‍රියාව අපි තරයේ හෙලා දකිමු.වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් මේ මොහොතේ මහජනතාවට ඇතිවන සියළු ආකාරයේ සෞඛ්‍ය අවශ්‍යතා, විශේෂයෙන්ම හදිසි අනතුරු සේවා නොපිරිහෙලා ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
පවතින දරාගත නොහැකි දැඩි ආර්ථික පීඩාවන්ට සහනයක් නොලැබුණු තැන වෙනත් කළ හැකි කිසිවක් නොවූ මහජනයා මේ වන විට උද්ඝෝෂණ කිරීමට පෙලඹී ඇත. එවන් උද්ඝෝෂණ විටෙක කලහකාරී ස්වභාවයක් ගැනීමට ඉඩ ඇති නමුත්, ජීවිත හානි, ශාරීරික හානි සහ දේපල හානි අවම කරගනිමින් නීත්‍යානුකූල රාමුව තුල ඒවා සමනය කිරීම පවතින රජයේත්, බලධාරීන්ගේත්, පොලීසිය සහ ආරක්ෂක හමුදාවලත් වගකීම බව අප අවධාරණය කරමු.
මේ වන විට රට මුහුණදී තිබෙන බරපතල ආර්ථික සහ දේශපාලනික අර්බුදය හමුවේ රට අරාජිකත්වයට ඇදෙමින් පවතින බව වෘත්තිය සමිතියක් වශයෙන් අප නිරීක්ෂණය කර තිබේ. මෙම තත්වය ජන ජීවිතට බලපාන ආකාරයත්, කෙමෙන් කෙමෙන් මහජන ආරක්ෂාව පවා තර්ජනයට ලක්වන ආකාරයත් අපි දකිමු. රෝහල් තුල ඇතිවී තිබෙන ඖෂධ,රසායනික ද්‍රව්‍ය සහ ඉන්ධන හිගයන් අප වෘත්තිකයින් වශයෙන් අත් විදින්නෙමු.
මෙම තත්වයට සංවේදී වෙමින්, ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් හරහා වහාම දේශපාලන ස්ථාවරත්වය ඇතිකරලීමට සර්වපාක්ෂික භාරකාර ආණ්ඩුවක් ඇති කරන ලෙස අප සියළුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිමු. එමෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් බලගන්වා රටේ ඇතිවී තිබෙන මේ අර්බුදකාරී තත්වයට දීර්ඝකාලීන විසදුමක් ලබා දෙන ලෙස අවධාරණය කරමු.
මේ සම්බන්ධයෙන් දැනටමත් සියළුම වෘත්තිකයින් එක් වේදිකාවකට ගොනුවී ඇති අතර, සැමගේ ඒකමතික කැමැත්ත පරිදි ජේශ්ඨ නීතීඥ මඩුල්ලක් විසින් කෙටුම්පත් කල යෝජනා මාලාවක් දැනටමත් ඉදිරිපත් කර තිබේ.
රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය වශයෙන් අප එයට පූර්ණ අනුමැතිය දක්වන අතරම, වෘත්තිකයින් වශයෙන් මේ අවස්ථාවේ පීඩාවට පත්ව සිටින මහජනයාට අවශය සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කැපවන්නෙමු.







