ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත් කථානායකවරයා අඟහරුවාදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක් මෙම පනත සම්මත කරගැනීම සඳහා අවශ්‍ය නොවන බවත් තීන්දු කර ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ.
මුලදී සම ලිංගික සම්බන්ධතා සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් අප්‍රේල් 4 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්කරුවන් තිදෙනෙකු මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීරණයක් ගන්නා ලෙසයි.
පනත් කෙටුම්පතට සහය පළ කරන අතරමැදි පෙත්සම් 14 ක් තවත් පුරවැසියන් 30 ක් සහ සිවිල් සමාජ සංවිධාන දෙකක් විසින් ගොනු කර තිබිණි. .
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ දැනට ස්ත්‍රීන් සහ පුරුෂයන් ගේ ‘අස්වාභාවික’ ලිංගික සම්බන්ධතා සඳහා නඩු පැවරීමට ඉඩ සලසන විධිවිධාන අඩංගු වේ.