මේ රටේ සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් බවට පත් කරන්නත්, කාන්තාවන් කිසිවෙක් නොසිතූ තැනකට රැගෙන එන්නත්, තරුණයින්ට කාර් එකක් මිලදී ගෙන නිවසක් හදාගෙන ජිවත්වන්නට හැකි පරිසරයක් හදන්නත් දින වකවානු සහිත වැඩ පිළිවෙළක් තමන් විසින් ඉදිරිපත් කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
ඔහු කියන්නේ දේශපාලනයෙන් කවදාවත් කිසිම දෙයක් අත්පත් කරගෙන නැති බවය. තමන්ගේ පක්ෂය සංඛ්‍යා දත්ත, සමීක්ෂණ හොදට දන්න පක්ෂයක් බවත් ඒ මත පදනම් වී ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙළක් ගෙන එන ගමන්ම හැමදාම දේශපාලන වේදිකාවේ කතා වෙන ඍණත්මක කතා වෙනුවට කලින් නෑසුනු සටන් පාඨ ගෙනෙන බවත්ය.
“අපි අභිප්‍රේරණය කරනවා ඔබව “ දිලිත් ජයවීර කියන්නේය. ඔහු මේ බව පවසන්නේ උතුරු කළුතර පැනොරාමා හෝටල් පරිශ්‍රයේ පැවති මව්බිම ජනතා පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
“මට කවදාවත් මේ දේශපාලනයට එන්නට කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මම හිතන්නේ නැහැ මෙම දේශපාලන ආගමනය කිසිම පක්ෂයක් හෝ දේශපාලකයෙක් බලාපොරොත්තු වුණා කියලා. ඒ නිසා තමයි ඔවුන් මේ සදහා විවිධ විග්රහයන් දෙන්නේ. මේක මුක්කු ගහන පක්ෂයක් ලෙස හඳුන්වන්නේ. එහෙම නැත්තම් ඡන්ද කඩන්න එන පක්ෂයක් ලෙස තමයි හදුන්වන්නේ. එසේ වීමට කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නැහැ. අපි අපේ ආත්මය පාවා දෙන්නේ නැහැ. “
තමන් කතා කරන්නේ ශ්‍රී ලංකාවට නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍යය ය යන අසීමිත විශ්වාසය මත බව කියන දිලිත් ජයවීර ඉතිහාසයේ වුන දේ වෙන්න වෙන්නට ඉඩ නොතිබෙන බවත් කිවේය.
“මේ රටේ මිලියන 5 දශම 1ක් වන පවුල්වලින් මිලියන දෙකකට අදටත් සමෘද්ධිය ලැබෙනවා. සමහර පවුල්වලට රුපියල් 2500ක් ලැබෙනවා. වැඩිම වුනොත් රුපියල් පහළොස්දහසක් ලැබිලා ඇති. මේ සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 200කට වැඩියෙන් වියදම් කරලා තියෙනවා. අපේ අධ්‍යාපනයට වියදම් කරනවාට වැඩියෙන් අපි සමෘද්ධියට වියදම් කරලා තියෙනවා. වියදම් කරලා මේ දුගී ජනතාව දුගී තත්ත්වයේම තියාගෙන ඒ අයගේ දේශපාලනය කරනවා. “
“මේ ජාවාරම වසර 30ක පමණ සිට කරගෙන යනවා. ඔවුන් කවදද මේ දුගී තත්ත්වයෙන් ගොඩ එන්නේ. ඔවුන් කවද්ද සතුටින් ඉන්නේ? කාටද රුපියල් 2500න් ජිවත් වෙන්න පුළුවන්? කාටද රුපියල් පහළොස්දහසෙන් ජිවත් වෙන්න පුළුවන්? නමුත් ඒක පවත්වාගෙන යනවා. නමුත් ඔවුන් දුගිභාවයෙන් මුදවා ගන්න වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. “
“ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ රටේ ඉපදුන හැම මනුස්සයෙකුටම සතුටින් ඉන්න ඕන. අපි මේ සතුටින් ඉන්න ඕන රටක දුක් විදින්නේ. ඒකට හේතුව වැඩපිළිවෙළක් නැති දේශපාලන ක්‍රමය නිසා. දුෂිත දේශපාලනයේ පැවැත්ම රඳා පවතින්නේ දුගී ජනතාව සිටියොත් පමණයි. “
“ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා අවසාන දුගී පවුලටත් ව්‍යවසායකත්වය ගෙන යන්න. ඔවුන්ගේ ආත්ම ශක්තිය එලියට ගන්න අවශ්‍ය වෙනවා. ඔවුන්ට මාසයෙන් මාසයට දෙන දුප්පත්කමේ දීමනාව වෙනුවට ඔවුන්ට කොහොමද ශක්තිමත්ව නැගී සිටලා කොහොමද වැඩ කරන්නේ කියන අවස්ථාව ලබා දෙන්න ඕන. ඒ සඳහා අපි ලඟ වැඩපිළිවෙළක් තියෙනවා. අපි කයිවාරුකාරයෝ නෙවේ. “
“අපි දේශපාලනය සදහා පොරොන්දු දෙන, ප්‍රතිපත්ති ප්‍රකාශ ලබා දෙන පක්ෂයක් නොවේ. අපි සංඛ්‍යා දත්ත, සමීක්ෂණ හොදට දන්න පක්ෂයක්. ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙළක් අපි ගේනවා. හැමදාම දේශපාලන වේදිකාවේ කතා වෙන ඍණත්මක කතා වෙනුවට අපි අභිප්‍රේරණය කරනවා ඔබව. කලින් ඇසුණු නැති සටන් පාඨ අපි ගේනවා. “
“අපි යෝජනා කරනවා මේ සියලු සමෘද්ධිලාභීන්ට තමන්ට ජිවත් විය හැකි ආදායමක් ලැබෙන වැඩපිළිවෙළක් ඔබට ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේම සියයට 50කට වැඩි ශ්‍රී ලාංකික කාන්තාවන් ඉදිරියටම ගෙනියනවා. ඔවුන් කවදාවත් නොදුටු තැනකට අරන් ගිහින් තමයි නතර වෙන්නේ. “
“ඒ වගේම අපේ රටේ තරුණයන් අපේක්ෂා භංගත්වයෙන් සිටියා නම් ඔවුනට අද වෙනත් රටකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් ගේනවා. ඒ වගේම රටකට යම් තරුණයෙක් ගියා නම් ඔවුන් නැවත මේ රටට එන්න හිතෙන රටක බවට අපි පරිවර්තනය කරනවා. කාර් එකක් ගන්න, ගෙයක් හදා ගන්න හැකි රටක් වහ වහා නිර්මාණය කරනවා. “
ඒ සඳහා අපි දින වකවානු සහිත වැඩපිළිවෙළක් සකසනවා. එතකොට ඔබට වෙනත් රටකට ගිහින් රැකියාවන් තුන හතරක් කරලා දුක් විදින්න ඕන නැහැ.