දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් හමු වූ සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවත් එම ස්ථානයේ කැණීම් ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව සිදු නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.
මෙම ස්ථානයෙන් හමුවන්නේ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ශරීර කොටස් විය හැකි බවට තමන් අනුමාන කරන්නේ යැයි මන්ත්‍රීවරයා කීවේ කැණීම් කටයුතු බලා ගැනීමට මන්ත්‍රීවරයා ඊයේ (06) එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දී ය.
මේ වනවිට කැණීම් කටයුතුවල දී මතුවී ඇති ප්‍රධානම සාධක අනුව මෙම ස්ථානයේ ඇත්තේ කොටි සමූහ මිනීවලක් බව තහවරු වෙමින් පැවති බව පර්යේෂණ අංශ පෙන්වා දී තිබිණි. ඒ සැකය වඩාත් තහවුරු වන්නේ ඊයේ (06) එහි තිබී තවත් අස්ථි කොටස් කීපයක් ඇතුළු උපකරණ හමුවීමෙන් අනතුරුවය.
ජල සම්පාදන මණ්ඩල මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සේවකයින් පිරිසක් විසින් කොක්කුතුඩාවායි ප්‍රදේශයේ ජල නල එළීමකට කාණුවක් සකස් කිරීමේදී පළමු වරට ජුනි 29 වැනිදා අදාළ ස්ථානයේ දී අස්ථි කොටස් හමුවී තිබුණි.
එම ස්ථානයෙන් කොටි සෙබළියන්ගේ බවට සැක කෙරෙන ඇදුම් ආයුධ හා අට සැකිලි කොටස් කීපයක් හමු වීමෙන් පසුව කෝකිලායී පොලිසිය ඒ පිළිබදව මුලතිව් අධිකරණය දැනුම්වත් කර මුලතිව් අධිකරණයෙන් එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා නියෝගයක් ලබා ගත්තේය.
මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා කැණීම් කටයුතු ආරම්භ වූ ස්ථානය නිරීක්ෂණය කිරීමටද පැමිණ සිටියේය.
ඊට අමතරව පොලිස් නිලධාරීන්,පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්, මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක් කැණීම් කටයුතු ආරම්භ කෙරෙන විට එම ස්ථානයට පැමිණ සිටියහ. විවිධ දේශපාලන කණ්ඩායම් ද දැන් ඒ ස්ථානයට පැමිණෙමින් ඇත.
හමුවන මිනිස් ඇට සැකිලිවල ස්වභාවය මත කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් හමු වී ඇත්තේ කොටි සාමාජිකයින්ගේ සමුහ මිනී වළක් බවට සැක පහල වී තිබිණි.
කෙසේ වෙතත් එම ස්ථානයේ කැණීම් කටයුතු තව දුරටත් සිදු වෙමින් පවතී.