පසුගිය පාසල් ක්‍රිකට් වාරයේ දක්ෂතා දැක්වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්මාන පිදෙන පාසල් ක්‍රිකට් සම්මාන උළෙළ ලබන 17 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන්නට යන්නේ සම්මාන ලාභී ක්‍රීඩකයන් රැසක් පකිස්තානයේ සංචාරයක නිරතව සිටියදීය.
මෙම සම්මාන උළෙල සංවිධානය කරනුයේ පාසල් ක්‍රිකට් සංගමය වුවත් මෙයට අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ට කුඩම්මාගේ සැළකිල්ලක් දක්වා ඇතැයි වාර්තා වේ.
පාසල් සංගමයේ දර දිය අදින නිලධාරීන් බොහොමයකට මේ සඳහා ආරාධනා කොට නැතත් පාසල් ක්‍රිකට් සංවර්ධනයට කිසිදු සම්බන්ධයක් නැති ක්‍රිකට් විධායක සභාවට හා ක්‍රිකට් ආයතනයේ සියලුම අංශ ප්‍රධානීන්ට මේ සඳහා ඇරයුම් කර තිබීම විශේෂත්වයකි.
එක්තරා ඉරිදා ඉංග්‍රීසි පුවත් පතක් මෙහි නිල මාධ්‍ය ආවරණය සඳහා නම් කර ඇති අතර මේ හේතුවෙන් අනිකුත් මාධ්‍ය මෙම සම්මාන උළෙල වර්ජනය කරන්නට නියමිත බවක්ද වාර්තා වේ.
මෙම සම්මාන උළෙල සඳහා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 32 ක් වැය කරන අතර එහි සංගීත හා නැටුම් සංදර්ශන සඳහා පමණක් මිලියන 10 ක් පමණ වැය කරන බව ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ලංකාසරට පැවසීය
මෙම උළෙල සඳහා ජාතික කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය එහි ගාම්බීරත්වය ගෙන දෙන්නක් වුවද 19 න් පහළ කණ්ඩායම පකිස්තානු සංචාරයේ හා ජ්‍යේෂ්ඨ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ යෙදෙන අවස්ථාවක ඔවුන්ගේ සහභාගිත්වයක් නොමැතිව මෙය පැවැත්වීම විහිළුවක් බව ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති