දිනසේන රතුගමගේ –
හින්දු බැතිමතුන් අද (15) තෛපොගල් දිනය සමරන්නේය. මේ වනවිට උතුර එක් සැණකෙළියකි. තෛපොංගල් දිනයේ චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා වාණිජත්වයට මෙම උත්සවය කෙමෙන් කෙමෙන් නැඹුරු වන බවක් අපට මේ වසරේ තෛපොංගල් සමයේදී යාපනයේදී දක්නට ලැබුණි.
යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ වෙළදසැල් ගණනාවකම තෛපොංගල් කිරිබත් පිසීම සදහා යොදා ගැනීමට විවිධ මෝස්තර වලින් අලංකාරයෙන් සරසන ලද මුට්ටි සිය ගණනක් නොයෙක් හැඩයෙන් වෙළද පලට එක් වී තිබුණි.

අතීතයේ සිට මේ දක්වා තෛපොංගල් දිනයේ කිරිබත පිසීමට යොදා ගන්නා මුට්ටිය සිත්තම් කළේ නිවසේ ගෘහණිය විසිනි.
ඊට හින්දු බැතිමතුන් සදහන් කලේ ” කෝලම් ඇදීම ” ලෙසයි.
කිරිබත් පිසින මුට්ටියේද මුට්ටිය ලිප තබන ස්ථානය වටාද ඔවුන් කෝලම් ඇද ඒ බිම පූජනීය බිමක් බවට පත් කළහ.
නමුත් මේ වසරේ බොහෝ චාරිත්‍ර උඩු යටිකුරු වී තිබෙනු දක්නට ලැබීම හින්දු සංස්කෘතියේ විශාල විනාශකාරී පරිවර්තනයක් ලෙස බොහෝ දෙනෙකු හැදින්වූහ.
තම ජීවිතයේ පළමු වතාවට විවිධ මෝස්තර වලින් අලංකාරයෙන් සරසන ලද මුට්ටියක තෛපොංගල් කිරිබත පිසීමට අශාවක් උපන් ගෘහණියෝ එවැනි අලංකර මෝස්තර මුට්ටි මිලට ගනිමින් සිටියහ.
ඒ අතරවාරයේ පැරණි මැටි මුට්ටිද නවීන වෙළද පලට එක් වූ ඇලුමිනියම් මුට්ටිද මෙවර තෛපොංගල් සමයේ උතුරේ සෑම පළාතකම දැකිය හැකි විය.







