ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) නියෝජනය කරන මන්ත්‍රීවරුන්වන ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම, කාවින්ද ජයවර්ධන සහ J. C. අලවතුවල පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව රජයේ විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 50 බැගින් ලබාගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් ඩේලි මිරර් වාර්තා කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සංවර්ධන කටයුතු සඳහා මෙවැනි මුදල් වෙන් කිරීම් පසුගිය වකවානුව පුරාම සිදුවූයේ නැත. මේ ආකාරයෙන් මන්ත්‍රීවරන් වෙත ප්‍රතිපාදන වෙන් නොවීම සම්බන්ධව බරපතල විවේචන පසුගිය වකවානුව පුරාම රජය වෙත එල්ල වී තිබිණි.
මුල් වකවානුවේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට තම ආසනවල තමන් කැමති සංවර්ධන ව්‍යාපෘති කිරීමට මුදල් වෙන් කිරීම සිදුවුව ද පසුගිය වසර පහක කාලය තුළ එවැනි ප්‍රතිපාදන වෙන් කිරීම සිදුවූයේ නැත ඒ වෙනුවට එම කාලය තුළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා සංවර්ධන කාර්යය සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ ක්‍රියාවලියක් අනුගමනය කළේය.
කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා ඇතුළු තෝරා ගත් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමකට මෙම මුදල් ප්‍රතිපාදන ලබා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය හඳුන්වා දුන් අලුත් නිර්ණායකයකට අනුව ඍජු රැකියා උත්පාදන ව්‍යාපෘතිවලට යෙදවීම සඳහාය.
ගැටලුව ඇති වන්නේ මෙම ප්‍රතිපාදන ලබා ගැනීමේ දී උක්ත මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායකත්වයෙන් අනුමැතිය ලබාගෙන නොතිබීම ය.
මේ සම්බන්ධයෙන් ඩේලි මිර්ර් කළ විමසීමක දී සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ මෙම ප්‍රතිපාදන ලබා ගත් කිසිදු මන්ත්‍රීවරයෙකු ඒ සඳහා පක්ෂ අනුමැතිය ලබා නොගත් බවයි.
“අපි මීළඟ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ කාරණය මතු කරනවා,” ප්‍රධාන ලේකම්වරයා පවසා ඇත.
කෙසේ වෙතත් මෙම ප්‍රතිපාදන ලබා ගත් මන්ත්‍රීවරයෙක් පවසා ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ජනතා කේන්ද්‍රීය වැඩකටයුතු සිදුකිරීමට තමන්ට ලැබිය යුතු රුපියල් මිලියන 50ක ප්‍රතිපාදනයක් සඳහා තමන් අයදුම් කළ බවය.
“මේ වගේ වැඩ කරන එකේ වරදක් නෑ. විමධ්‍යගත අයවැයෙන් ප්‍රතිලාභ ලැබීමට අපට අයිතියක් තියනවා. ඒ සඳහා පක්ෂ ධූරාවලිය සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවක් මා දකින්නේ නැහැ,” ඔහු වැඩි දුරටත් පැවසීය.