පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට භාණ්ඩ ප්‍රදානයක් කිරීමේ මුවාවෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයන් පිරිසක් ප්‍රවර්ධනය කිරීමට අද (23) සංවිධානය කර තිබුණු මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පිට පොලිසිය විසින් නවතා දැමීමෙන් අනතුරුව ප්‍රදානය කිරීමට ගෙනා භාණ්ඩ රෝහලට නොදී, ඒවාත් රැගෙන එම පිරිස පිටත්ව ගොස් ඇත.
පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට භාණ්ඩ ප්‍රදානයක මුවාවෙන් මෙම ප්‍රචාරක වැඩසටහන සංවිධානය කර තිබුණේ සමගි ජන බලවේගයේ ප්‍රචාරණ යාන්ත්‍රණය විසිනි.
එම අවස්ථාවට අදාල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෝ එක් වී සිටියහ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එම ස්ථානයට පැමිණීමට නියමිතව තිබුණේ පෙරවරු 10.30ට පමණය.
මේ වග මැතිවරණ කොමිසමට වාර්තා වුණු සැනින් කොමිසමේ නියෝග මත එම වැඩසටහන නැවැත්වීම සඳහා නිකුත් කළ ලිඛිත නියෝගයක් සමග පිලියන්දල හා මොරටුව පොලිස් ස්ථානාධිපතිවරු ස්ථානයට පැමිණියහ.
සංවිධායකවරු පවසා තිබුණේ මෙය ප්‍රචාරක වැඩසටහනක් නොව, සමාජ සේවා ව්‍යාපෘතියක් බවය. එවිට පොලිසිය කියා තිබුණේ එසේ නම් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයෙක් නොවන ඕනෑම අයෙක් ඉදිරිපත් වී මේම භාණ්ඩ රෝහලට ප්‍රදානය කරන ලෙසය.
එයට එකඟ නොවූ සංවිධායකයෝ රෝහලට ප්‍රදානය කිරීමට ගෙනා භාණ්ඩද රැගෙන එම ස්ථානයෙන් පිටව ගියහ.