රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකුත් එළඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයෙහි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකුට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරත නිරතවීමට අවශ්‍ය නම්, ඒ සඳහා නීත්‍යානුකූල ව සිය තනතුරින් ඉවත්ව එසේ කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් රජය වෙනුවෙන් දේශපාලන කළ යුතු යැයි ජනාධිපතිවරයා කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ.
රාජ්‍ය නිලධාරීන් කළ යුත්තේ තමන් බාර ගත් ආයතන කාර්යක්ශම, දූෂණයෙන් තොර ඵලදායි විනයගරුක සහ ලාභ උපයන ආයතන බවට දියුණු කිරීම බවට නිවේදනයේ දැක්වේ.
රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ මහජන මුදලින් බැවින් ඒවා කිසිදු ලෙසකින් මහ ජනතාවට බරක් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සතු වාහන උපකරණ වැනි භෞතික සම්පත් හෝ මූල්‍ය සම්පත් හෝ එළඹෙන මහ මැතිවරණයේදී කවර පක්ෂයක හෝ දේශපාලනයට භාවිත නොකළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.
මේ නියමයන් කඩ කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
පටු දේශපාලන අරමුණුවලින් බැහැරව ශක්තිමත් රාජ්‍යයක්, දියුණු ආර්ථිකයක්, සාධාරණ සමාජයක් සහ ජනහිතකාමී දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අධිෂ්ඨාන සහගතව කැපවී සිටින බවත් මේ අරමුණු සපුරා ගැනීම පිණිස රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් ප්‍රමුඛ සේවකයන්ගේ පූර්ණ සහයෝගය ජනාධිපති වරයා අපේක්ෂා කර සිටී.