පුෂ්පකුමාර ජයරත්න සහ අනුර ජයන්ත –
වඳ සැත්කම් වලට ලක්වූ බව කියන මවුවරුන් පිරිසක් සමඟ භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අද (18) පෙරවරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
වඳ සැත්කම් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට හිඟ වැටුප් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට කරන ලද නියෝගයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව අරඹා තිබිණි.
මේ අවස්ථාවට එම වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල අධිකරණයේ පැවැත්වෙන නඩුව සඳහා අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් සහභාගි වී සිටියහ.
දේශහිතෛෂී ජාතික සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර, සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන්, කුරුණෑගල ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරී වීරපොකුණේ සුමංගල හිමියන්ද සහභාගි වූහ.
ලංකාදීප –







