ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවට මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කළ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් සහ කළුතර පී.සී.සී කණ්ඩායමේ හිටපු සභාපති අනුර විරසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රැකියාවත් අහිමි කිරීමේ ප්‍රති ප්‍රහාරයක් ෂම්මි ගෙන් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
විවිධ මත ගැටුම් හේතුවෙන් දිගින් දිගටම අනුර වීරසිංහට එරෙහිව ශම්මි සිල්වා ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සරා කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත් කළුතර පී.සී.සී කණ්ඩායමට ලැබිය යුතු උසස්වීම නොලැබී තිබිණි. ඔවුන්ට ලැබිය යුතුව තිබුණේ ප්‍රිමියර් ලීග් බී ඛාන්ඩයට උසස් වීමකි.
එම උසස්වීම ඉල්ලූ නමුත් කළුතර පී.සී.සී. වෙත එම අවස්ථාව ලබා නොදී ඔවුන්ට පහළින් ඇති කණ්ඩායම් වෙත උසස්වීම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ අභිමතය පරිදි ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමේදී සිදුවී තිබිණි.
මේ තත්ත්වයට එරෙහිව අනුර වීරසිංහ නීති මගට ගොස් නඩුවක් පැවරුවේය. ඒ නඩු කටයුත්ත මේ වනවිට පැවැත්වෙමින් ඇත.
ඒ අතර ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් නිලධාරියෙක් වූ සුජීව ගොඩලියැද්දගේ දුරකථනයෙන් අනුර වීරසිංහට බැණ තර්ජනය කර තිබිණි. ඒ මෙම නඩු කටයුත්ත පිළිබඳවය.
ඒ අවස්ථාවේ දී අනුර වීරසිංහ මිරිහාන පොලිසියට ගොස් ෂම්මි සිල්වා තමන්ට බැන තර්ජණය කළ බවට පැමිණිල්ලක් ගොනු කළේය.
පැමිණිල්ල විභාග කරන්නට ෂම්මි මිරිහාන පොලිසියට ගොස් අනුර වීරසිංහගේ පරණ සම්බන්ධය ද පවසා තමන්ට අනුරට බැන තර්ජනය කිරීමේ චේතනාවක් කිසිසේත්ම නොතිබුණු බව කියමින් අනුර වීරසිංහට අතට අත දි ගැටුම සමථයකට පත් කරගත්තේය. ඒ අනුව අනුර තමන් විසින් ගොනුකළ පැමිණිල්ල ඉල්ලා අස් කරගත්තේය.
සමාදාන වී පැමිණ පැය 24ක් ගතවන්නට පෙර අනුර වීරසිංහ ක්‍රිකට් ආයතනය තුළ ඔහු රැකියාව ලෙස කළ ජාතික ක්‍රිකට් සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක තනතුරින් ඉවත් කිරීමට විධායක මණ්ඩල තීන්දුවක් ගෙන ඔහුව රැකියාවෙන් නෙරපා හැර තිබේ.
විධායක මණ්ඩල රැස්වීම පවත්වන අතර ෂම්මි සිල්වා සුළු වෙලාවකට නැගිට ගොස් ජයන්ත ධර්මදාස මුලසුනේ හිඳගත් පසු ලබා දුන් පළමු තීන්දුව අනුර වීරසිංහ ක්‍රිකට් ආයතනයේ සියලු තනතුරුවලින් ඉවත් කිරිම බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
අනුර වීරසිංහ මේ වන විට බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ලෙසද කටයුතු කරන අතර එහි වත්මන් සභාපති ධූරය උසුලන ෂම්මිගේ සීසීසී ක්‍රීඩා සමාජයේ නිලධාරියකු ලවා අනුර එහි ලේකම් ධූරයෙන්ද අස් කිරීමට කටයුතු සූදානම් කොට ඇතැයි ද දැනගන්නට ඇත.