නියමිත මිල ගණන් අඩු තක්සේරු කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන විසින් සිදුකළ රුපියල් කෝටි ගණනක බදු වංචාවක් සම්බන්ධව මේ වනවිට ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ කරමින් පවතින බව අද (01) පාර්ලිමේන්තුවේ දී හෙළිදරවුව් වුනේය.
මේ හෙළිදරව් වීම සිද්ධ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන් පළවාහැර එම දූෂිතයන්ට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකට එක් වී යෝජනාවක් සම්මත කර ඇති මොහොතකය.
මේ වනවිට එම යෝජනාව රැගෙන පැමිණි ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ කැබිනට් මණ්ඩලයෙන් පළවාහැර ඇති අතර අනතුරුව සිදුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තවමත් කටයුතු කරන ශම්මි සිල්වාගේ මැදිහත් වීමෙන් මෙම නින්දා සහගත බදු වංචාව සිදුවී තිබිණි.
මේ වංචාව සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පැවසුවේය.
“ අපේ රටේ ක්‍රිකට් ග්‍රව්න්ඩ් තුනක දඹුල්ල, පල්ලේකැලේ, කෙත්තාරාම ක්‍රීඩාංගනවලට ඇනවුම් කරලා තියනවා හැටයි තිහේ එල්.ඊ.ඩී ස්ක්‍රින් තුනක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී වංචනික ක්‍රියා තුනක් සිද්ධ කරලා තියනවා.
- ටෙන්ඩර් එක ඕපන් කරලා තියෙන්නේ 2023 ජුලි 14. නමුත් 14 ටෙන්ඩර් එක ඕපන් කරන්න කලින් 13 වැනිදාම සල්ලිවලින් කොටසක් යවලා තියනවා එක්තරා ආයතනයකට. ඒ මුදල ඩොලර් 29000ක්.
- දෙවැනි කාරණාව විශේෂයෙන් මං මතක් කරන්න කැමතියි මේ ටෙන්ඩර් එකේ ලන්සු තුනට ලන්සුකරුවන් ලෙස ඉදිරිපත් වෙලා තියනවා මිලියන් ලාෆ් එන්ටර්ටෙන්මන්ට්, ඉමජින් ලාෆ් එන්ටර්ටේන්මන්ට්, ඇටම් ටෙක්නොලොජිස්, ජොන් කීල්ස් ඔටොමේෂන් කියන මේ ආයතන 04. හැබැයි ටෙන්ඩර් එකට ලන්සු තියලා තියෙන්නේ ආයතන දෙකයි. ඒ මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් සහ ඉමෙජින් එන්ටර්ටේන්මන්ට් කියන ආයතන.මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් එකේ ලන්සුව මිලියන් 360යි. ඉමැජින් එන්ටර්ටේන්මන්ට් එක ඊට මිලියන් 25ක් අඩුවෙන් මිලියන 335යි. ඉමැජින් එන්ටර්ටේන්මන්ට් එකේ ලිපිගොනුවල අත්සන් ගණනාවකින් එක අත්සනක් නැතෙයි කියලා මේ ටෙන්ඩර් එක දීලා තියනවා මිලියන 25ක් වැඩිපුර මිලක් ඉදිරිපත් කළ මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් ආයතනයට. අර මුලින් කී ලෙස ටෙන්ඩරය විවෘත කිරීමට දිනකට කලින් ඩොලර් 29000ක මුදලක් ( අද මිල අනුව රුපියල් අනූ පන් ලක්ෂ විසි හතර දාස් හාරසිය හැත්තෑවක්) බැර වන්නේ මේ ආයතනයේ ගිනුමට.
- තුන්වන කාරණාව තමයි බරපතලම කාරණාව. මේ මොහොතෙත් රේගුවේ නිලධාරීන් ඒ සම්බන්ධව මෙහෙයුමක් දියත් කරලා තියනවා මේ ක්‍රීඩාංගන තුනේ ස්ථාපනය කරපු එල්.ඊ.ඩී තිර සම්බන්ධව. මොකක්ද කාරණාව. මේ ඔක්කොටම අය කරලා තියෙන්නෙ බදු මුදල ලක්ෂ 65යි. ඒ බද්ද අය කරලා තියෙන්නේ ඩොලර් 29000ක් ඇතුළත් කරලා අන්ඩර් ඉන්වොයිස් කරලා යවපු බිලට. ලෝකයේ ඕනෑම තැනක මේ ඩිජිටල් තිර තුනක මිල ඩොල්ර ලක්ෂ එක හමාරකට වැඩියි. ( ඒ කියන්නේ අද මිල අනුව හාර කෝටි අනූ දෙලක්ෂ හැට හතර දාස් පන්සියයක්. ඒ මිල අනුව බදු අය කළා නම් රජයට ලැබෙන බදු මුදල රුපියල් තුන් කෝටි හැට දෙලක්ෂයකට ආසන්නයි. ඒ අනුව දළ වශයෙන් බදු වංචාව දෙකෝටි අනූ හත් ලක්ෂයක්). ඔවුන් මේ වංචාව කරලා තියෙන්නේ නියමිත මුදලට වඩා අඩුවෙන් මේ උපකරණවල මිල තක්සේරු කරලා.
මේ ස්ක්‍රීන් තුනට අඩුම ගානේ වැය වෙනවා ඩොලර් එක් ලක්ෂ පනස් දාහක්. අපි කතා කරනවා රාජ්‍ය ආදායම නැතිවීම ගැන.
වැට් එක වැඩිකරනවා සියයට 15 සිට 18 දක්වා. බදු පටවනවා මිනිස්සුන්ට. පක්ෂ භේදයෙන් තොරව යෝජනාවක් ස්ථිර කළා දූෂිත කල්ලිය ඉවත් කරලා අලුත් වැඩපිළිවෙළකට යනවා කියලා. එහෙම තියෙද්දි මේ වැඩේ වෙන්නේ.
විපක්ෂ නායකවරයා කීවේය. එවිට රාජ්‍ය මුදල් ඇමත් ශෙහාන් සේමසිංහ කීවේ රේගුව මේ වනවිට එම වංචාව සම්බන්ධව අදාල විමර්ශන සිදුකරමින් යන බවය.
එවිට විපක්ෂ නායකවරයා ඡායාරූප සහිතව හෙළිදරව් කරනු ලැබුවේ රේගුවේ සිදුවන මේ විමර්ශනත් සමග එම ඩිජිටල් තිර මේ වනවිට ක්‍රීඩාංගනවලින් ගලවා ඉවත් කිරීමට කටයුතු සිදුකර ඇති බව.