සාකච්ඡා කළේ – ශ්‍රියානි විජේසිංහ –
දිවයිනේ ප්‍රමුඛ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අභිරහස් ලෙස ඔහුගේ වාහනය තුළදීම අත්පා බැද බෙල්ලට වයරයක් දමා මරා දමා තිබිණි. ඔහු ජීවිතය සමග පොරබදමින් සිටියදී හමුවන්නේ බොරැල්ල සුසාන භූමිය තුළ තිබූ ඔහුගේ වාහනය තුළය. බොරැල්ල සුසානභූමියට වාහනය ඇතුළු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ලංකාසර අපි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සමග කෙටි සංවාදයකට එක් වුනෙමු. මේ දැක්වෙන්නේ අප ඇසූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරුය.
-
ආරක්ෂාව විවෘත ටෙන්ඩරයකින් භාර දීලා තියෙන්නෙ රක්නා ලංකා සමාගමට… ඒ වර්ෂ 2021 දි. නගරසභා මුරකරු පිරිසකුත් ආරක්ෂ රාජකාරියේ යොදවලා ඉන්නවා…
-
ටෙන්ඩරය ප්‍රධානයේ දී මූලික කොන්දේසි දෙකක් ඉදිරිපත් කළා… අවමංගල්‍ය රථයකට හැර වෙනත් කිසිම රථයකට කනත්තට ඇතුළු වෙන්න බෑ… ඇවිදින්න අපහසු අයෙක් වෙනුවෙන් රථයක් ඇතුළු කළ හැකියි… නමුත් ඔහු අදාල තැනින් බස්සවා වහාම පිටත් විය යුතුයි… රක්නා ලංකා සමාගම ආරක්ෂක ගිවිසුමේ මූලික කොන්දේසි මුළුමනින්ම උල්ලංඝණය කරලා…
-
කනත්තට තිබෙන්නෙ විවෘත කළ ගේට්ටු තුනයි… මේ තුනේම මුරකරුවො ඉන්නවා… මේ මිනීමැරුම් සිද්ධියට අදාල වාහනය කනත්ත්‍ට ඇතුළු වීමම ප්‍රෙහේළිකාවක්…
ප්‍රශ්නය – බොරැල්ල සුසානභූමියේ ආරක්ෂාව පාලනය හා නඩත්තුව සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ කොළඹ මහ නගර සභාවට. පසුගියදා සුසානභූමිය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර – සුසාන භුමියේ පාලනය හා නඩත්තුව කොළඹ මහ නගරසභාවට අයත් වුණත් ආරක්ෂාව පවරා ඇත්තේ රක්නා ලංකා කියන පෞද්ගලික ආරක්ෂක සමාගමටයි . නමුත් අපි ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කරනවා. ඒ හැරුණු කොට සුසානභභූමියේ පාලනය සහ නඩත්තුව සිදුකරන්නේ නගරසභා සේවකයින් විසින්. කෙසේ නමුත් මේ සිදු්වීම සම්බන්ධයෙන් දැනටමත් පුලුල් පරික්ෂණයක් ආම්භ කර තිබෙනවා.
ප්‍රශ්නය – නගර සභවේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේවාව ක්‍රියාත්මක වෙනවා නම් පසුගියදා සිදුවුණ සිදුවිම සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් මතුවෙනවා නේද?
පිළිතුර – මේ සිදුවීම සිදුවුණ ආකාරය ප්‍රහේලිකාවක්. අපි දැනටමත් මේ සම්බන්ධයෙන් එදා එම පිවිසුම් දොරටුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.
මොකද අපි ආරක්ෂක සේවාව රක්නාලංකා සමාගමට ප්‍රසිද්ධ ටෙන්ඩරයකින් පවරා දෙන විට අදාල ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ කරුණු 7ක් සම්බන්ධයෙන්. ඒ කරුනු 7 අතරින් 2ක් ප්‍රධාන වෙනවා. ඒ තමයි සුසානභූමියට දේහයක් රැගෙන පැමිණෙන අවමලංගල්‍ය රථයකට හැර වෙනත් කිසිදු රථයකට ඇතුළු වීම සපුරා තහනම්.
ඒ වගේම සානුකම්පිතව බලා ඇවිදීමට අපහසු වයස්ගත පුද්ගලයෙකුට දේහය මිහිදන් කරන ස්ථානයට යාමට අවශ්‍යනම් ඒ පුද්ගලයාව එම ස්ථානයට ඇරලවිය හැකියි. ඇරලවූ වහාම නැවත එම වාහනය පිටවිය යුතුයි. ඒ තමයි කොන්දේසි දෙක.
මේ වන විට වාහනයක් ඇතුළු වුණේ කොහොමද කියන එක බලනකොට අපේ ගිවිසුම උල්ලංඝණ වී ඇති බව පැහැදිලියි. යම් ආරක්ෂකයෙක් ගිවිසුම උල්ලංඝණය වන ලෙස කටයුතු කර තිබෙනවාද කියලා අපි ප්‍රශ්න කරනවා.
ප්‍රශ්නය – මෙම සිදුවීමෙදි රක්නාලංකා ආරක්ෂක සේවකයින් යම් වරදක් කර තිබෙන්නේ නම් ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?
පිළිතුර – මේ සම්බන්ධයෙන් යම් වරදක් වෙලා තියෙනවාද කියලා මුලින්ම සොයා ගත යුතුයි. අපි මේ සමාගමට ආරක්ෂාව පැවරුවේ වසර 2021දී. එදා මෙදා කාලය තුළ ඉතාමත් හොදින් ආරක්ෂක කටයුතු සිදුකළා. ඒ නිසා මට ක්ෂණික තීරණයන් ගන්න බැහැ. මේ ගැන පුළුල්ව සොයා බලලා තමයි තීරණයකට එළඹිය යුතු වන්නේ .
ප්‍රශ්නය – වසර 2021දී ආරක්ෂාව රක්නාලංකා සමාගමට පැවරීමට පෙර සුසානභූමියේ ආරක්ෂාව භාරව කටයුතු කළේ කවුද?
පිළිතුර – ආරක්ෂාව භාරව කටයුතු කළේ කොළඹ නගර සභාවට අයත් මුරකරු කියන කණ්ඩායම. ඒ අය වසර 2013දී කාර්යාල කාර්යය සහායක තනතුරුට මාරු කළා. ඒ නිසා පුරප්පාඩු වුණ ආරක්ෂක සේවාව සඳහා ටෙන්ඩර් මගින් පෞද්ගලික සමාගමකට පැවරුවා.
ප්‍රශ්නය – අදාල සිදුවීම සම්බන්ධයෙන් වූ වාහනය පිවිසුම් දොරටුවෙන් ඇතුළු වෙන විට එහි ආරක්ෂකයෙක් ඉඳලා නැතිද?
පිළිතුර – ඒ පිවිසුම විවෘත කර තිබෙන්නක්. ඒ මොහොතේ ඒ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් සේවයේ යෙදී සිට ඇතත් අදාල වාහනය සුසාන භූමියට ඇතුළත් කරන විට එම ආරක්ෂකයා කොතැන සිටියේද යන්න පිලිබඳව අපි දිගින් දිගටම ප්‍රශ්න කරනවා.
ප්‍රශ්නය – සුසානභූමියට ඇතුළත් වෙන්න පිවිසුම් මාර්ග කීයක් තියෙනවාද?
පිළිතුර – පිවිසුම් මාර්ග 5ක් තියෙනවා. ඉන් දෙකක් සම්පුර්ණයෙන්ම වසා දමා තියෙනවා. විවෘත කර තියෙන්නේ දොරටු 3යි. මේ සිදුවීම සිදුවුණ දොරටුවත් විවෘතව පවතින එකක්.
ප්‍රශ්නය – සුසානභූමියේ ආරක්ෂාව සදහා නගර සභාවේ කොපමණ සේවක පිරිසක් යොදවා තිබෙනවාද ?
පිළිතුර -සෞඛ්‍ය පරිපාලක කෙනෙකු සේවයේ යොදවා තියෙනවා.ඊටත් ඉහළින් ළමණාකාර සහකාර කෙනෙක් යොදවා තියෙනවා . කම්කරුවන් 28ක් සේවය සඳහා යොදවා තිබෙනවා. මේ සියලුම දෙනා අක්කර 44ක් පුරා විහිදී ගිය සුසානභූමිය තුළ සේවයේ යෙදී සිටිනවා.
සටහන – ශ්‍රියානි විජේසිංහ