මෙවර නොවැම්බර් මාසයේදී ශ්‍රි ලංකාවට එන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 430කින් අඩුවී තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 700ක් පමණ පැමිණ තිබුණද මෙරට අපනයනකරුවන් සහ විදේශ ශ්‍රමිකයන් ශ්‍රි ලංකාවට එවන විදේශ මුදල් ප්‍රමාණය අඩු කර ඇති බවත් මෙවර එවා ඇති විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 270ක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේනතු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (02) පැවසීය.
ඔහු තවදුරටත් සඳහන් කළේ මහ බැංකු දක්තවලට අනුව සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේදි පැමිණෙන ඩොලර් මිලියන 700කට සාපේක්ෂව මෙම වසරේදී ලැබී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 430කින් අඩුවීම සැලකිය යුතු ප්‍රශ්නයක් බවයි.
“මේ විදිහට එන මුදල් මාසයක් තුළ ඩොලර් මිලියන 430ක් අඩු වුණේ ඇයි? ඒවා ඇවිත් නැත්තේ ඇයි? අපි නොයෙකුත් දේ විකුණලා ඩොලර් මිලියන තුන් හාරසීක් හොයන්න හදනවා. බංග්ලාදේශයට වැඳලා සල්ලි ඉල්ල ගත්තා. අගමැති කතා කරල බංග්ලාදේශයේ මේ ණය ගෙවන්න කල් ඉල්ලා ගත්තා. නමුත් බංග්ලාදේශ අගමැතිවරිය එම ණය පොලිය වැඩි කරල ගෙවන්න කල් දෙන්නම් කියල කියල තිබෙනවා. නොවැම්බර් ප්‍රේෂණවලින් එන සල්ලි අඩු වනුණේ කාගෙ වැරැද්දෙන්ද? ඒක මේ රජය නිර්මාණය කරගත්ත එකක්. කාගෙන්වත් අහල බලන්නේ නෑ. සොයල බලන්නේ නෑ. හිතුමතේ ගැසට් ගහනවා. “ ආචාර්ය හර්ෂ ද සිලවා එසේ පවසයි.
මේ වනවිට ශ්‍රි ලංකාවට එවන ඩොලර් මහ බැංකුව විසින් නියම කරන ලද මුදලට මාරු කිරීමට විදේශ විනිමය උපයන්නන්ට සිදුව ඇති අතර ඔවුන්ගේ විදේශ ගිණුම්වල මෙරට බැංකුවට එවන මුදල්වලින් සති පතා සියයට 25ක් මහ බැංකුවට විකිණිය යුතු බවට ද මහබැංකුව පසුගියදා රෙගුලාසියක් පැනවීය.
මෙම තත්ත්වය මත විදේශ විනිමය උපයන අපනයනකරුවන් සහ විදේශ ශ්‍රමිකයන් ශ්‍රි ලංකාවට ඩොලර් ප්‍රේෂණය කිරීම සීමා කර තිබේ.