ශ්‍රී ලංකාව සමඟ චීනයේ සමීප සහයෝගීතාවයට ඇඟිලි ගැසීමට වඩා, ඇමෙරිකා එක්සත් ජනපදයට ද යම් අවංකභාවයක් පෙන්විය හැකි අතර වර්තමාන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට යමක් කළ හැකියැයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා මාඕ නින්ග් ප්‍රකාශ කළාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ දිනයේ දී චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු විසින් අසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ණය සහන ලබා ගැනීම සඳහා චීනය දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බවට ඇමරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ලංකාවේ සංචාරය කරමින් සිදුකළ ප්‍රකාශය උපුටා දක්වමින් , මේ සම්බන්ධයෙන් චීනයේ ප්‍රකාශය හෝ ප්‍රතිචාරය කුමක්ද යන්නත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන සඳහා අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවට විශ්වාසනීය සහ නිශ්චිත සහතික ලබාදීමට චීනය සලකා බලන්නේ කවදාද යන්නත් එහිදී මාධ්‍ය විමසා සිටියේය.
එහිදී ඇය කීවේ එක්සත් ජනපද පාර්ශවයෙන් පැවසූ දේ සත්‍යය පිළිබිඹු නොකරන බවය. චීනයේ අපනයන-ආනයන බැංකුව දැනටමත් ශ්‍රී ලංකාවට සිය ණය තිරසාරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපියක් ලබා දී ඇති බවත් ශ්‍රී ලංකාව ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඒ පිළිබඳව චීනයට ස්තුතිය පළ කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාව සමඟ චීනයේ සමීප සහයෝගීතාවයට ඇඟිලි ගැසීමට වඩා, ඇමෙරිකා එක්සත් ජනපදයට ද යම් අවංකභාවයක් පෙන්විය හැකි අතර වර්තමාන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට යමක් කළ හැකියැයි ද ඇය කීවාය.
“මිත්‍රශීලී අසල්වැසියෙකු සහ සැබෑ මිතුරෙකු ලෙස චීනය, ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සමීපව නිරීක්ෂණය කරමින් අපගේ හැකියාවන්ගෙන් උපරිමයෙන් එහි ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ආධාර සපයමින් ශ්‍රී ලංකාව චීන පාර්ශ්වයට ඇති ණය සම්බන්ධයෙන්, නිසි විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට චීන මූල්‍ය ආයතනවලට අපි සහාය දෙනවා. ”
“අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින අතර ශ්‍රී ලංකාවට එම තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමටත් අඛණ්ඩව සූදානම්” බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.