ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත පිල පරදවා සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී ලකුණු 128ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තේය.
ලකුණු 234ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත පිතිකරුවන් පන්දු ඕවර 23.3ක දී සියල්ලන්ම දැවී රැස් කළේ ලකුණු 105ක් පමණි.
නෙදර්ලන්තය වෙනුවෙන් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 33කි. ඒ මැක්ස් ඕ ඩෝව්ඩ් විසිනි. ඊට හතරේ පහරක් සහ හයේ පහරක් ඇතුළත් විය.
ලොන්ගන් වෑන් බීක් නොදැවී ලකුණු 20ක් ලැබුවේය. තුන්වන වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 14කි. ඒ ශ්‍රි ලංකා කණ්ඩායම ඔවුන්ට ප්‍රදානය කළ අතිරේක ලකුණු 14 ය.
යළිත් මහීෂ් තීක්ෂණ විශිෂට පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර 6.3 දී ලකුණු 31කට කඩුලු 04ක් ලැබුවේය. මනරම්ම පන්දු යැවීම ඩිල්ෂාන් මධුසංඛගෙනි. ඔහු පන්දු ඕවර 07ක් යවා ලකුණු 18ක් පමණක් දී කඩුළු 03ක් බිඳ හෙළුවේය.
වනිඳු හසරංග ලකුණු 35ට කඩුලු 02කි. මතීෂ පතිරණ කඩුළු ලැබුවේ නැත.
කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. පන්දු ඕවර 50ක් ක්‍රීඩා කිරීමට ඉඩ නොදී ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 233කට දවා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා කඩුළු 06ක් අවසන් ලකුණු 53 තුළ බිඳවැටුනේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දල ලකුණු ලැබීමේ වේගය තිබුණේ පන්දු ඕවරයකට ලකුණු 4.87ක් ලෙසිනි.
ශ්‍රී ලංකා පිතිකරණයෙන් හොඳටම සමත් වූ ක්‍රීඩකයා සිය දෙවන එක්දින ජාත්‍යාන්තර තරගය ක්‍රීඩා කරන සහන් ආරච්චිගේය. ඔහු දෙවැනි තරගයේ දීම සිය මංගල අර්ධ ශතකය ලැබුවේය. සහන් පන්දු 71ක් තුළ ලකුණු 57කි. කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, චරිත් අසලංක ලකුණු 36ක්, වනිඳු හසරංග ලකුණු 29ක් සහ පැතුම් නිස්සංක ලකුණු 23ක් ලැබුවේ.
නෙදර්ලන්තය වෙනුවෙන් ලොගාන් වැන් බීක් පන්දු ඕවර 10ම යැව්වේය. ලකුණු 40ට කඩුලු 02කි. රයන් ක්ලෙයින් ලකුණු 42ට කඩුළු 02කි. ආරියන් දත් ලකුණු 51ට කඩුල්ලකි. වික්‍රම්ජිත් සිං ලකුණු 12ට කඩුළු 02කි. සකීබ් සුල්ෆිකාර් ලකුණු 59ට කඩුලු 02කි.
එහෙත් පිතිකරණ අංශයේ දී නෙදර්ලන්ත කණ්ඩායම ළදරුවෝ වූහ. ශ්‍රී ලංකා පන්දු යන්නෝ නෙදර්ලන්ත ඉනිම විනාශ කළහ.
ශ්‍රී ලංකාව තරගාවලිය නිමා කරන්නේ අපරාජිතවය. ඔවුන් ලෝක කුසලානයට සටන් වදින කණ්ඩායම් අතර දැන් 09 වැනි තැනය.