උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.
මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටින බවත්, 2024 වසරේ නව වර්ධනයක් සමඟ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවයි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ද මෙහිදී අදහස් දැක්විය.
ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය දීර්ඝ ලෙස සාකච්ඡා කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, උගන්ඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වී. කනන්තන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.