ශ්‍රියානි විජේසිංහ –
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වෘත්තීය ගැටලුවලට සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් දැනට යෙදී සිටින මානූෂීය සේවාවන්ගෙන් සහ අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් ඉවත් වන බවත් එම ඉවත් වීම හරහා විශ්ව විද්‍යාලයන් හී සම්පත්වලට හානි සිදුවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත අවධාරණයෙන් දන්වා සිටීයි.
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයින් විසින් ලබා දුන් එකඟතාවන් ඊයේ (13) දිනයේදී මුදල් අමාත්‍යංශ අනුකමිටුව ඉවත දමා ඇති බවට තොරුතුරු දැන ගැනීමට හැකි වූ බව සභාපතිවරයා කියයි.
වසර 2017දී කොමිෂන් සභාව මගින් අනධ්‍යයන සේවකයින්ට ලබා දිය යුතු බවට එකඟ වූ දීමනාවන් ලබා ගැනීමට කරනු ලබන සටනක් මිස අලුතින් දීමනා ඉල්ලා කරන සටනක් නොවන බවත් මෙම සටනේදී අධ්‍යාපන ඇමතිවරුන් දෙපලගේ ක්‍රියා කලාපයන් දැඩි ලෙස හෙළා දකින බවද ඔහු අවධාරණය කරයි.
අනධ්‍යනයන සේවක ප්‍රශ්නයට මේ වසරේ දී විසඳුම් නැති බව සරසවි පද්ධතිය වෙත අධ්‍යාපන ඇමතිවරයා විසින් දන්වා ඇති පසුබිමක අනධ්‍යන සේවකයින් පවසන්නේ සාධනීය පිලිතුරක් නොලැබුණහොත් විශ්ව විද්‍යාල පුරා දැවැන්ත උද්ඝෝෂණයන් පවත්වා එම උද්ඝෝෂණයන් සිවිල් සමාජ හා බද්ධ කරමින් ඉදිරියට ගෙන යන බවය.









