කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට වැඩි ඡන්ද 42කින් පරාජයට පත් වුයේය. තථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද පක්ෂව 75ක් විරුද්ධව ඡන්ද 117ක් ද ලැබී තිබිණි. කිසිවෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ නැත. ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාස භංග යෝජනාව පරාජයට ලක් විය.
වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විවාදයට ගැනුන විශ්වාසභංග යෝජනාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකුට එරෙහිව ඉදිරිපත් වූ පස් වන විශ්වාසභංග යෝජනාවය. මෙම විශ්වාසභංග යෝජනාවට පෙර අවසන් වරට ශ්‍රී ලංකාවේ කතානායකවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇත්තේ, මීට වසර 32කට පෙරය..
අද සිදුවුවාක් මෙන් මීට පෙර, කතානායකවරයෙකුට එරෙහිව අවස්ථා 4කදී ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා කිසිවක් ද ජයග්‍රහණය කර නැත.
කථානායකවරුන් හතර දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා පහෙන් විශ්වාසභංග දෙකකට මුහුණ දෙන්න්නේ එම්. එච්. මොහොමඩ් කථානායකතුමාය. ඒ සියල්ල පරාද විය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයෙකුට එරෙහිව පළමු වරට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූයේ, 1963 වර්ෂයේදී ය.
ඒ, එවකට කතානායකවරයා වශයෙන් කටයුතු කළ ආර්.එස්. පැල්පොළට එරෙහිව ය.
මෙතෙක් කථානායකවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනා මෙසේය..
- 1963 – ආර්.එස්. පැල්පොළට එරෙහිව – අපක්ෂපාතිව කටයුතු නොකළ බවට ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ විපක්ෂයේ මූලිකත්වයෙන් යෝජනාව ඉදිරිපත් කරන ලදී. ආර්.එස්. පැල්පොළ යනු නාවලපිටියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ අයෙක් විය.
- 1980 – එම්.ඒ. බාකීර් මාකාර් – ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්ගේ ඉල්ලා අස්වීමෙන් පසු බාකීර් මාකර් කතානායකවරයා වශයෙන් පත්කරන ලදී. බේරුවල ආසනයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තේ ය. 1983 අගෝස්තු මාසයේදී ඔහු කතානායක ධූරයෙන් ඉල්ලා අස් විය.
- 1991 – එම්.එච්. මොහොමඩ් – හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු 1989 වසරේ 1994 වසර දක්වා කතානායක ධූරය දැරීය.
- 1992 – එම්.එච්. මොහොමඩ් – කලබලකාරී අවස්ථාවක න්‍යාය පත්‍රයේ තිබූ අයිතම 17ක් එක දිගට අනුමත කිරීමට එරෙහිව විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
- 2024 – මහින්ද යාපා අබේවර්ධන – මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී පක්ෂපාතී ආකාරයට කටයුතු කළ බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ය.