කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පිවිසුම මුළුමනින්ම අවහිර කරමින් අද (17) පුද්ගලික බස් රථ රියදුරන් කළ උද්ඝෝෂණය මැද, උද්ඝෝෂකයින් සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමණාකාරීත්වය අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙද්දී සාකච්ඡාවේ යෙදී සිටි එහි ප්‍රධාන කළමණාකරු නාලක දිසානායක හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළේය.
මාර්ග අංක 174 කොට්ටාව – බොරැල්ල, මාර්ග අංක 225 කොට්ටාව – ගල්කිස්ස, මාර්ග අංක 38 හෝමාගම – පිටකොටුව, සහ මාර්ග අංක 138/1 මත්තෙගොඩ පිටකොටුව බස් රථ රියදුරන් සහ රිය සහායකයින් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පිවිසුම මුළුමනින්ම අවහිර කරමින් අද උද්ඝෝෂණය කරනු ලැබුවේ එම ස්ථානයේ ඉදිකළ පිරවුම්හලෙන් අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට විරෝධය පල කරමිනි.
මෙම අවස්ථාවේදී අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් යෑමට පැමිණි පිරිස් සහ විරෝධතා කරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වය පොලිසිය විසින් සමථයකට පත් කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමනාකරු ඇතුළු පිරිස සමග සාකච්ඡාවකට අවස්ථාව සලසා දෙනු ලැබීය.
එම සාකච්ඡාව අතර දී රෝගී වු කළමනාකාරවරයා වහාම රෝහල් ගත කර තිබිණි. එම අවස්ථාව මෙසේ දෙරණ පුවත් සේවය වාර්තා කර තිබිණි.