විදේශ රටවල රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් දිවයිනේ ප්රදේශ ගණනාවක පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 100 කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උඩුනුවර ප්රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න නැමැති අය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් සැකකරු රුපියල් ලක්ෂ ගණනින් වංචා කළ බවට මහනුවර, දවුලගල, පේරාදෙණිය යන පොලිස් ස්ථාන වලට පැමිණිලි රැසක් ලැබී තිබේ.
පේරාදෙණිය පොලීසියට පුද්ගලයින් 08 දෙනෙකු කළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කළ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
හිටපු ප්රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව සැල වීමත් සමඟ ඔහුට මුදල් ලබාදුන් පුද්ගලයින් රැසක් මහනුවර සහ පේරාදෙණිය පොලිස් ස්ථාන වලට පැමිණ තිබේ. සැකකරු එක් එක් පුද්ගලයින් ගෙන් රුපියල් ලක්ෂ 03 සිට 10 දක්වා මුදලක් ලබාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරී සමන් අංගම්මන ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙයි. සැකකරු ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 02 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය පවසයි.