ශ්‍රියානි විජේසිංහ –
විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ නව පනත දෙසැම්බර් 8 වන දින අන්තර්ජාලයේ පල කර ඇති අතර මෙම පනත මගින් විෂය භාර අමාත්‍යවරයාට ඉතා අසීමිත බලතල ප්‍රමාණයක් ලබා දෙමින් විදුලිබල ක්ෂේත්‍රෙයේ නියාමන ආයතනය සතු බලතල කප්පාදු කරමින් පාරිභෝගික ආරක්ෂණ පිලිබද එක් වචනයක් හෝ අඩංගු නොකර දැනට පවතින විදුලිබල පනත හා විදුලිබල මණ්ඩලපනත අහෝසි කිරීමට කටයුතු යොදා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
මෙම පනතේ අඩංගු කරුණු පිලිබදව කඩිනමින් විද්වත් සංවාදයක් ආරම්භ විය යුතු බවත් එසේ නොමැතිව මෙම පනත මේ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය රටේ ආර්ථිකයේ කොදු නාරටිය බදු විදුලිබල ක්ෂේත්‍රෙය් කණගාටුදායක අවසානයක් ලෙස සනිටුහන් වනු ඇති බවද සංගමය අනතුරු අගවයි.
විදුලිබල මණ්ඩලය සහ විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකිරිම සඳහා නව පනත නොවැම්බර් 20 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමත වුවද මෙම කෙටුම්පත සකස් කිරීමේදී අදාල පාර්ශ්වයන් සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බව ද ඔවුහු පෙන්වාදෙති.
මෙම පනත කැබිනට් මණ්ඩලයේ සම්මත වීමට පෙර සාකච්ඡාවට බඳුන්කිරීම සඳහා පාර්ශ්ව ගණාවක් උත්සහ කළ නමුත් එම උත්සහයන් ව්‍යර්ථ කරන ලද්දේ කිසියම් පාර්ශ්වයකගේ උවමනාව මත බව පැහැදිලි වන්නේ යැයි සංගමය පවසා සිටියි.
මෙම පනත කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසුව නිරීක්ෂණය කිරීම සහ යෝජනා සදහා අවස්ථාව ලබාදෙන බවට පසුගිය නොවැම්බර් 7වන දින විෂය භාර අමාත්‍යවරයා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් පිරිසක් සමග පැවති රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණද එය මෙතෙක් ඉටුකර නොමැති බව සංගමය චෝදනා කරයි.
එහෙත් විදුලිබල ඇමති කාංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ අදාල සියලුම පාර්ශවයන් සමග දිර්ඝ ලෙස සාකච්ඡා කර පුලුල් සංවාදයක් කිරීමෙන් අනතුරුව මෙම පනත කැබිනට් අනුමැතියට යොමු කර ගැසට් කළ බවය.