දිනසේන රතුගමගේ –
අධික වර්ෂාව හේතුවෙන් පිටාර ගලා වැව් බැම්ම කැඩී යමින් තිබෙන වවුනියාව ඉරනේරුප්පුකුලම් වලයාන්කට්ටු වැව බේරා ගැනීම සදහා යුද හමුදාව ප්‍රදේශ වාසීන්ගේ සහය ඇතිව ඊයේ ( 3 ) උදෑසන සිට දැඩි පරිශ්‍රමයක නිරතව සිටිති.

මේ වන විට එම වැවේ අඩි 9 ක් උසට ජලය පිරී පිටාර ගලමින් තිබෙන අතර වැව් බැම්මේ එක් ස්ථානයක් කැඩී එම ස්ථානයෙන් වැවේ ජලය පහත් බිම් වලට ගලා යාමට පටන් ගෙන තිබේ.
ප්‍රදේශයේ ආරක්ෂාවට සිටින යුද හමුදාව වැලි කොට්ට රැගෙනවිත් වැව් බැම්ම ආරක්ෂා කිරීමට වෙහෙසෙන අතර ඊට ප්‍රදේශවාසීන්ගේ සහයද ලැබී තිබේ.
වලයාන්කට්ටු ගමේ වැසියන් ප්‍රකාශ කරන්නේ එම ස්ථානයෙන් වැව් බැම්ම කැඩී ගියහොත් ගම්මාන දෙකක නිවාස 200 කට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවන අතර වගා කළ කුඹුරු අක්කර 375 ක් පමණද විනාශ වන බවයි.







