මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්රධාන මාර්ගයේ ඊයේ ( 30 ) පෙරවරුවේ සිදුවූ බස් අනතුරෙන් පසු වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු අද (01) පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් එකොළොස් වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලොන්නරුව මහේස්ත්රාත් 2 ෆාතිමා මානිහා නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ලක් වූයේ පොලොන්නරුව වැලිකන්ද නව මහසෙන්පුර අංක 359 ලිපිනයේ පදිංචි 32 වියති එපිට වත්තේගෙදර උදුල සමන්ත කුමාර යන අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
නොසැලකිලිමත් රිය ධාවනය සහ වේගය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට පැන බස් රථය පෙරළී සිදුවූ අනතුරෙන් කාන්තාවන් 36 දෙනෙකු සහ පිරිමින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළහ. ඉන් සිව් දෙනෙක් බරපතල තුවාල සහිතව වැලිකන්ද ප්රාදේශීය රෝහලෙන් පොලොන්නරුව මහරෝහලට මාරුකර යැවිණි. එම සිවු දෙනා මේ නවවිට පොලොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටිති.
වැලිකන්ද මහසෙන්පුර ප්රදේශයේ සිට සිංහපුර පෞද්ගලික සහල් මෝලක සේවය කරන සේවකයින් පිරිසක් රැගෙන යමින් සිටියදී එම බස්රිය වැලිකන්ද මුතුවැල්ල ප්රදේශයේදී අනතුරට පත්විය.
මෙම අනතුර සම්බන්ධ පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා ගේ උපදෙස් අනුව වැලිකන්ද ප්රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල ගේ මෙහෙයවීමෙන් වැලිකන්ද වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රදීප් සෙනෙවිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.