මනම්පිටිය නිමල් ජයරත්න –
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට අද (12) සවස එකට පමණ වැලිකන්ද නගරයේ දුම්රිය හරස් මාර්ගයේදී මහවැලි කැබ් රථයක් ගැටී, සිදු වූ අනතුරෙන් කැබ් රථයට බරපතල හානි සිදුව ඇති බව වැලිකන්ද පොලීසිය කියයි.

මෙම අනතුර සිදුවන විට කැබ් රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල වී නොමැති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී සඳහන් කළේය.
අනතුරට පත්ව ඇත්තේ මහවැලි සී කලාපය ට අයත් කැබ් රථයක් වන අතර එම කැබ් රථය මහවැලි කාර්යාලයකින් උපකරණ තොගයක් රැගෙන යාමට පැමිණීමේදී මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන විට දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා නොතිබු බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.
දුම්රිය වැලිකන්ද දුම්රිය නැවතුම් පොළේ නැවතීම සඳහා සෙමෙන් ගමන් කිරීම නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බවද පොලිසිය සඳහන් කරයි.
කැබ් රථය මාර්ගයෙන් ගමන් ගන්නා විට දුම්රිය කැබ් රථයේ පිටුපස ගැටීම නිසා, කැබ් රථයේ සිටි තිදෙනා ගේ ජීවිත බේරුණු බවද ඇසින් දුටුවෝ සඳහන් කරති









