වැඩ තහනම් කළ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති සමාව අවභාවිතා කර ජනාධිපතිවරයා විසින් නිර්දේශ නොකළ සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් නිදහස් කිරීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණයට අදාලව වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
අද සවස රැස් වුන කැබිනට් මණ්ඩලය තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබිණි. අද අත් අඩංගුවට ගැනීමට පෙර පෙරේදා සහ ඊයේ දින දෙක තුළ පැය 05ක්, පැය 10ක් වශයෙන් පුරා පැය 15ක් තුෂාර උපුල්දෙණියගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
ජනාධිපති සමාව අවභාවිතා වී ඇති ආකාරය උසාවියේ දී අනාවරණය වී එය මාධ්‍ය මගින් වාර්තා කර රටේම අවධානය සිද්ධිය සම්බන්ධව ලක් කරවා ඇති අවස්ථාවක, සිද්ධිය සම්බන්ධව පූර්ණ හෙළිදරවු කිරීමක් පාර්ලිමේන්තුවේ දී විපක්ෂය විසින් සිදුකර තිබෙන පසුබිමක, සිද්ධිය මුල් කරගෙන රජයට සහ ජනාධිපතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ලවෙමින් ඇති වටපිටාවක අධිකරණ අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව පූර්ණ වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලූ විට කිසිම ප්‍රශ්නයක් සිදුවී නැති බවත්, සියල්ල නීත්‍යානුකූලව සිද්ධ වී ඇති බවත්, සියලුම තොරතුරු විගණනයකට යොමු කර ඇති බවත් ඔහු අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබීම විමර්ශන අංශවල දැඩි අවධානයට ලක් වී තිබිණි.







