වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස සඟවා තිබූ විශාල ඩීසල් තොගයක් සමඟ සැකකරුවෙකු අම්පාර, කල්මුණකුඩි මාදවන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කල්මුණේ පොලිසිය සමත් වී තිබේ.
කල්මුණේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතාට ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් මෙම හදිසි වැටලීම සිදු කර ඇත. එහිදී විවිධ උපක්‍රම භාවිත කරමින් රහසිගතව එක්රැස් කර සඟවා තිබූ ඩීසල් බැරල් 22ක් පොලිස් භාරයට ගෙන තිබේ.
විමර්ශන නිලධාරීන් පවසන පරිදි මෙම බැරල් 22 තුළ ඩීසල් ලීටර් 4,620ක පමණ ප්‍රමාණයක් අඩංගුව තිබී ඇති අතර, එහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 17ක් පමණ වේ. සැකකරු කලක පටන් විවිධ ක්‍රමවේද ඔස්සේ පිරවුම්හල්වලින් සහ වෙනත් මාර්ගවලින් මෙම ඉන්ධන තොගය රැස් කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නීතිවිරෝධී ලෙස රැස් කළ ඉන්ධන තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කල්මුණේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.







