වැටුප් වැඩි කිරීමත් සමග වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රය විසින් මතු කර ඇති අයිතිය සහ අභිමානය පිළිබඳ ප්‍රශ්නයට ලබා දිය හැකි විසඳුම ගැන අද (21) ජනාධිපති අනුර කුමාර දිසානායක පැහැදිලිවම ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ විසඳුම ගැන ප්‍රකාශ කරන්නේ අද මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කළ විවාදයට එක් වෙමිනි.
එහිදී සෞඛ්‍ය ක්ෂේත්රයේ පිරිස් මතුකළ ගැටලුවට ලබා දිය හැකි විසඳුම ජනාධිපතිවරයා මෙසේ කීවේය.
ක්ෂේත්‍ර කීපයක ප්‍රශ්නයක් පැන නැගුනා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ. ඒ ගොල්ලන්ගේ ඕටී පැය සහ අමතර රාජකාරි ගණනය කළ ක්‍රමයක් තිබුණා. වෛද්‍යවරුන්ගෙ මේක ගණනය කළා 80න් බෙදලා. නර්සස්ලගෙ ගණනය කළා 160න් බෙදලා. එහෙම ගණනය කරපු තත්ත්වයක් තිබුණා.
හැබැයි එදා තිබුණ මූලික වැටුප 80න් බෙදපුවාම අද තියන මූළික වැටුප 120න් බෙදපුවාම අද තියන එක 120න් බෙදුවත් එදාට වඩා වැඩියි. ඒ තරම් වැඩි කරලා තියනවා මූලික වැටුප.
අමතර රාජකාරි පැය, අමතර කාලය, අතිකාල මේවට සූත්‍රයක් තිබුණා. මේ 80න් බෙදපු එක 120න් බෙදන්න තීරණය කළා. 120න් බෙදපු එක 160න් බෙදන්න තීරණය කළා. 160න් බෙදපු එක 200න් බෙදන්න තීරණය කළා. 200න් බෙදපු එක 240න් බෙදන්න තීරණය කළා.
එතකොට සමහර වෘත්තීන්ගේන් ආවා අපේ අයිතිවාසිකම් කප්පාදුව පිළිබඳව. අපට ඕන නම් තව අමතර යෝජනාවක් තිබුණා. 80න් බෙදන එකම ආරක්ෂා කරගෙන මූලික වැටුප ඒකට හරියන්න තියන්න තිබ්බා. මූලික වැටුප 80න් බෙදපුවාම ඒ ලැබෙන එක ලැබෙන්නම අපට තියන්න තිබුණා. හැබැයි අපි මුහුණ දුන්නා ප්‍රශ්නයකට. මොකක් ද?…
අපි එකට හතර වැටුප් අනුපාතයේ තියන්න ඕන. 1 කියන්නේ පහළම කෙනා. ඉහළම කෙනාට දැනෙන විදිහට වැටුප් වැඩි වුනේ නැතිනම් පහළම කෙනාට ඒ වැටුප් වැඩිවීම දැනෙන්නේ නෑ. ඒ නිසා උඩ ඉන්න කෙනාගේ වැටුප වැඩි වුනොත් විතරයි පහළම ඉන්න කෙනාගේ වැටුප වැඩි වෙන්නේ. ඒ නිසා තමයි උඩ ඉන්න කෙනාගේ වැටුප වැඩි කරන්න වැඩි බරක් තිබ්බේ.
එතකොට තමයි අපි කියන්නේ දැනටමත් අවම වැටුප 15550කින් වැඩි වෙන්නේ. මොකද එතන තියෙන්නේ උපරිම වැටුපෙන් හතරෙන් එකයි. උපරිම වැටුප අඩු වුනොත් අවම වැටුප ලැබෙන කෙනාගේ වැඩි වීම අඩු වෙනවා. ඒ නිසා අපි කළේ උපරිම වැටුප වැඩි කළා. වැඩි කරලා කිව්වා ඔයගොල්ලන්ට දෙන දීමනාවන් අපි මේ විදිහට සංශෝධනය කරන්නම් කියලා.
මෙන්න මේක පිළිබඳව පොඩි සංවාදයක් මතුවෙලා තියනවා. අපි අවශ්‍යනම් ඒක සංශෝධණය කරන්නම් මෙන්න මේ විදිහට. මේ බෙදීම ගණනය කරන්නේ 2027 ජනවාරි මාසයේ ලැබෙන වැටුපට. ඒ කියන්නේ 120න් බෙදන්න යෝජනා කළේ අප්‍රේල් මාසයේ ලැබෙන වැටුප නෙමෙයි. එයට අවසානයේ ලැබෙන පූර්ණ වැටුප තමයි 120න් බෙදන්නේ.
අපි යම් සංශෝධනයක් ගේන්න කැමතියි මෙහෙම. මූලික වැටුප 80න් බෙදන අයගෙන් 80න් බෙදලා ඒකෙන් තුනේන දෙකක් ලබා දෙනවා. 120න් බෙදපු එක 160 උනානේ. ඒක 120න්ම බෙදලා හතරෙන් තුනක් ලබා දෙනවා. 160 ට 200 උනා නේ. 200 නොකර එය 160න්ම බෙදලා පහෙන් හතරක් ලබා දෙනවා. 200 ය 240 උනානේ. ඒ ගොල්ලන්ට 200න්ම බෙදලා හයෙන් පහක් ලබා දෙනවා. ඉතිරි ටික ආර්ථිකය ඉතාම හොඳ ස්ථාවරයක් ආවට පස්සේ අපි ලබා දෙනවා.
ඒ ගොල්ල කියනවා නම් ඒ ගොල්ලන්ගේ 80න් බෙදීම අයිතියක් කියලා අපි ඒ අයිතිය ආරක්ෂා කරලා දෙන්නම්… හැබැයි මේ වැටුප් වැඩිවීමෙන් දෙන්නේ තුනෙන් දෙකයි. 120 බෙදීම අයිතියක් නම් අපි 120න් බෙදන්නම්. මේ අවරුද්දේ ලබා දෙන්නෙ වැටුප් වැඩිවීමෙන් හතරෙන් තුනයි. 160න් බෙදීම ඔවුන්ගේ අයිතියක් නම් 160න් බෙදන්නම්. ලබා දෙන්නේ පහෙන් හතරයි. 200න් බෙදීම ඔවුන්ගේ අයිතියක් නම් 200න් බෙදන්නම්. ලබා දෙන්නේ හයෙන් පහයි.
එතකොට මම හිතන්නේ ඒ ගොල්ලන්ගේ මූලධර්මය අපි ආරක්ෂා කරලා දිලා තියනවා. අභිමානය ඇතුළු සියල්ල රැකිලා දීලා තියනවා.
ජනාධිපතිවරයා අවසන් වශයෙන් කීවේ රටක් වශයෙන් දේශපාලන ක්ෂේත්රය තුළ කැපකිරීම් රාශියක් සිදුකරන්නට සැරසෙන අවස්ථාවක රාජ්‍ය සේවකයින් අභිමානය වැනි සිල්ලර කෑලිවල එල්ලී නොසිට සිය රාජකාරිය කිරීමට සූදානම් විය යුතු බවය.







