ශ්‍රියානි විජේසිංහ –
වසංගත රෝග විද්‍යා අංශය සතුව පවතින බෝවන රෝග තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියට වැරදි තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනගේ සංගමය වසංගත රෝග විද්‍යා අංයෙන් විශේෂ ඉල්ලිමක් කරයි.
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පසුගිය සතියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් බෝවන රෝගයන් සම්බන්ධයෙන් කිසිදු පරික්ෂාවක් සිදුකර නොමැති නමුත් එවැනි පරික්ෂාවන් සිදුකර ඇති බවට සදහන්වන අන්දමින් දත්ත පද්ධතියට තොරුතුරු ඇතුළත් කර ඇතැයිද මෙය ඉතා බරපතල තත්ත්වයක් බව ද සංගමයේ විධායක සභික රෝෂන් කුමාර සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ක්ෂේත්‍රය පුරා කරන ක්ෂේත්‍ර පරීක්ෂණවලින් ලබා ගන්නා තොරතුරු අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලබා දෙන අතර ඔහු වසංගත රෝග අංශයේ අදාල දත්ත පද්ධතිය භාරව කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයා වෙත සැපයීම දෛනිකව සිදුවන්නක් නමුත් වර්ජනය ආරම්භ කළ දින සිට තම සාමාජිකයින් ක්ෂේත්‍ර පරික්ෂාවන් සිදු නොකළ බව හෙතෙම පවසා සිිටියි.
රටතුළ වසංගත රෝගයන් පැතිරීම වලක්වා ගැනීම සඳහා තීන්දු තීරණයන් ගනු ලබන්නේ මෙම දත්ත පද්ධතිය තුළ ඇතුළත් තොරතුරු අධික්ෂණය කරමින් වන බැවින් මේ අන්දමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම බරපතල කරුණක් බවත් මෙය රටතුළ බෝවන රෝගයන් පාලනය කිරීමේදී බරපතල ගැටලු ඇති කරන්නක් වනු ඇති බවත් සංගමය අවධාරනය කරයි.