දිනසේන රතුගමගේ –
වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ප්‍රහාරයක් එල්ල කළ මැර පිරිසක් එම නිවසට ගි තැබීම නිසා එක් තරුණියක් මියගොස් 10 දෙනෙකු තුවාල ලබා අද (23) අළුයම වවුනියාව මහ රෝහලට ඇතූළත් කොට තිබේ.
තුවාල කරුවන්ට තුවාල සිදුව ඇත්තේ සියුම් ආයුධ වලින් කැපීමෙන් හා පිළිස්සුම් වලිනි.
මියගොස් ඇත්තේ වවුනියාව ඕමන්තේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.
මෙම නිවසේ සංවිධානය කොට තිබූ උපන් දින සාදයක් අළුයම දක්වා පැවති අතර එම අවස්ථාවේදී නිවසේ පිටුපසින් ඇතුළු වූ පිරිසක් මුලින්ම තරුණියට පිහියකින් ඇන තිබේ.
එම පිහියා ඇණුමෙන් බරපතල ලෙස තුවාල ලැබූ තරුණිය පිළිස්සීමකටද ලක්ව ඇත.
පසුව නිවස තුළට පැමිණි මැර පිරිස නිවසේ සිටි සියළුම දෙනාට පහර දී නිවසට ගිනි තබා ඇත.
ගින්නෙන් නිවස දැවී යන අවස්ථාවේදී අවට ජනතාව පැමිණ ගිනි නිවන ඒකක වලට හා 119 ඔස්සේ පොලීසියට ද සිද්ධිය දැනුම් දී නිවසේ ගින්න මැද සිර වී සිටි පිරිස රෝහල් ගත කොට ඇත.
ගින්නට හසුවීම නිසා නිවසේ භාණ්ඩ රැසක් දැවී අළු බවට පත්ව තිබේ.
පොලීසිය විශ්වාස කරන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙම පහර දීම හා ගිනි තබීම සිදු කරන්නට ඇති බවයි.
වුරුදු 02ක පිරිමි ළමයෙකු, අවුරුදු 07 සහ 13 වයස්වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙකු, අවුරුදු 19ත් 41ත් අතර කාන්තාවන් සිව්දෙනෙකු, 42 හැවිරිදි පිරිමියෙකු සහ 36 හැවිරිදි පුද්ගලයෙකු ගින්නෙන් තුවාල ලබා ඇත.
මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට සී.සී.ටීවී දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.