මනම්පිටිය නිමල් ජයරත්න –
අනුරාධ පුර යුගයේ දී නැගෙනහිර පළාත තුළ ඉදිකළ විශාලම දාගැබක් ලෙස සැලකෙන, නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවාඩිවෙම්බු පෞරාණික දාගැබ අන්තවාදී ආගමික මත දරන පිරිසක් විසින් මුලුමනින්ම විනාශ කර ඇති බව වාර්තා වේ.
මෙම විශාල දාගැබ විනාශ කරමින්, එහි සඳකඩ පහණ, ගල් කණු, ගඩොල්, ශිලා පුවරු, අසල කෝවිලකට ගෙනගොස් ඇතැම් ගල්කණු කඩා විනාශකර කෝවිලේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක අත්තිවාරමකට හා දේවාලයේ වැට මායිමකට යොදාගෙන තිබෙන බව මඩකලපුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී කල්කුඩා ශ්‍රී සීලාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති, පූජ්‍ය දේවගල දේව ලංකාර නාහිමියෝ සඳහන් කළහ,
ක්‍රිස්තු වර්ෂ 2,3 සියවස්වල පමණ ඉදිකර ඇති බවට සැලකෙන මෙම පෞරාණික දාගැබ 2017 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර කාර්යාලය මගින් හඳුනාගෙන වාර්තා කර තිබිණි.
මීටර් 32 කින් පමණ විශ්කම්භයකින් යුත් මෙම ස්තූපයේ පේසා වළලු, ගර්භයේ බිත්ති කොටස්, සම්පූර්ණ විනාශ කර එතැන් සිට අවට අක්කර තුන හතරක පරිසරයක ද විනාශ වීමට ඉඩ හැර ඇති බවත්, මෙම දාගැබේ පරිවාර චෛත්‍ය හතරක නටබුන් දැනට දක්නට තිබෙන බවත් ඇතැම් පරිවාර චෛත්‍ය උඩ පොල් ඇතුළු අනෙකුත් වගාවන් සිදුකර ඇති බවත්, දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
මෙම ප්‍රදේශය පිරිසක් විහාරතෝට්ටම් නමින් හඳුන්වා මෙම විශාලතම දාගැබේ ගල්කණු, සඳකඩපහන්, ඇතුළු වටිනා පුරාවිද්‍යා වස්තු කුළු ගෙඩිවලින් පහරදී කළුගල් බවට පත්කර ඒ අසල ඉදිකරන කෝවිලක අත්තිවාරමකට යොදා ගැනීම කණගාටුදායක කරුණකැයි උන්වහන්සේ කීහ.
දාගැබේ සමහර පුරාවස්තු ට්‍රැක්ටර් මගින් රැගෙන ගොස් ඇති බවත්, සමහර ගල්කණු මෙන්ම කැටයම් ගල් සඳකඩපහන්, කෝවිලේ වැට මායිමට දමා ඇති බවත් දේවාලංකාර නාහිමියන් පෙන්වා දුන්හ.
මෙම විශාලතම දාගැබ උඩ සහ ඒ අවට 2019 වර්ෂයේ මිරිස් වගා කර තිබූ අතර මේ පිළිබඳ මාධ්‍ය හෙළිදරව්වකින් අනතුරුව පුරාවිද්‍යා නිලධාරීන් එම දාගැබ ප්‍රදේශය වෙන්කර සිටුවා ඇති පුරාවිද්‍යා කුළුණුද මේ පිරිස විසින් විනාශ කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මායිම් කර ඇතිඇති ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් ඉඩම් ලෙස කොටුකරගෙන ඒ තුළද පොල් වගා කරන ඇති බව නාහිමියෝ කීහ.
මේ පිලිබද ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේත් පුරාවිද්‍යාවේ විෂය භාර අමාත්‍යවරයාගේ මෙන්ම පක්ෂ විපක්ෂ සියළු දෙනාගේත් අවධානය යොමුවිය යුතු බව උන්වහන්සේ කිහ.
පුරාවස්තු යනු බෞද්ධ හින්දු ඉස්ලාම් සියලුදෙනාගේම ජාතික උරුමයක් බව කී උන්වහන්සේ මෙවැනි ගෝත්‍රික විනාශකාරී මතවාදවලින් මිදී නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා වස්තූන් රැක ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරගැනීමට එක්වන කලෙස ඉල්ලා සිටියහ.
අප මෙම දාගැබේ විනාශය සහ පත්ව ඇති තත්වය පිළිබඳ විමසීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර පුරාවිද්‍යා කාර්යාලයෙන් කළ විමසීමකදී, එහි නිලධාරියෙකු සඳහන් කළේ ,එම දාගැබ පිහිටි ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සලකුණු කරනු ඇති බවත්, විනාශ වී ඇති තත්වය පිළිබඳ සොයා බලා ආරක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
ඒ සම්බන්ධ වැඩි තොරතුරු ප්‍රකාශ කිරීමට නොහැකි බව ද ඔහු පැවසුවේය.