දිනසේන රතුගමගේ
බීමට ජලය සොයා ගිය වන අලි පැටවෙකු වවුනියාව මාමඩුව වැව අද්දර මඩ වළක එරී දින කීපයක්ම ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී වන ජීවී නිලධාරීන් පිරිසක් විසින් 4 දා මහත් පරිශ්‍රමයක් දරා එම වන අලි පැටවාව බේරා ගෙන තිබේ.
අවුරුද්දකටත් වඩා අඩු වයස මෙම වන අලි පැටවා වන අලි රංචුවක් සමග දිය බීමට මාමඩුව වැව දෙසට යමින් සිටියදී වැව අද්දර වූ මඩ වළක එරී තිබේ.
සෙසු වන අලි මෙම පැටවා බේරා ගෙන ආපසු යාමට උත්සහ කළත් එය අසීරු වූ තැන වන අලි රංචුව කෑ මොර දෙමින් වනය අද්දර රැදී සිට ඇත.
ගවයින් රැගෙන ගිය මාමඩුව ගමේ ගැමියෙකුට මඩේ එරී සිටි වන අලි පැටවා දැක ගැනීමට ලැබී ඇත්තේ දින හයකට පමණ පසුවය.
ඔහු ඒ පිළිබදව මාමඩුව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය වනජීවී නිලධාරීන් කැදවා ගම්වාසීන්ගේද සහාය ඇතිව පැය පහක පමණ කාලයක් දැඩි ලෙස මහන්සි වීමෙන් පසුව වන අලි පැටවා ගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබේ.







