දිනසේන රතුගමගේ –
මාස හතක කාලයකින් විදුලි බිල්පත් ගෙවා නොමැති නිසා වවුනියාවේ පානීය ජල ව්‍යාපෘති 24 ක විදුලිය විසන්ධි කර තිබේ.
වවුනියාව ප්‍රදේශයේ පවතින උග්‍ර වකුගඩු රෝගය හේතුවෙන් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණ සහිතව මෙම ජල මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇති අතර ඒවායෙහි විදුලි බිල්පත් ගෙවනු ලබන්නේ වකුගඩු රෝග නිවාරණ කටයුතු සම්බන්ධයෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසිනි.
එම බලකාය විසින් අදාල පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීමෙන් පසුව එම නිලධාරීන් විසින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු මුදල පියවන අතර මාස හතකින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් නොලැබීම නිසා විදුලි බිල්පත්වල හිගයක් පවතින බව ජල මධ්‍යථාන වල පාලකවරු සදහන් කරයි.
ඇතැම් ජල මධ්‍යස්ථාන වල රුපියල් ලක්ෂයකට වඩා හිග විදුලි බිලක් ඇති අතර එම ජල මධ්‍යස්ථාන වලින් බොහොමයක් ක්‍රියාත්මක වන්නේ පාසල් ආසන්නයේ පාසල් ළමුන්ට පිරිසිදු පානීය ජලය බෙදා හැරීමේ අරමුණ ඇතිවය.
විදුලි බලය කපා හරින ලද ජල මධ්‍යස්ථාන වලින් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකි නිසා ජනතාව හා පාසල් සිසුන් මේ දිනවල අතීතයේදී මෙන් ඔවුන්ට ළගම පිහිටි ළිදෙන් ජලය ලබා ගෙන පානය කිරීමට පටන් ගෙන තිබේ.







