බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් ප්‍රමුඛ කොටගෙන සිදු කර ඇතැයි කියන වකුගඩු ජාවාරමේ තැරැව්කරු ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (13) නියෝග කළාය.
එම සැකකරු හඳුනාගැනීම සඳහා ඊයේ (13) පැවැත්වීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වීමට ද දින නියම කළාය.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභීන් රවටමින් රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 120 දක්වා වූ මුදල් ලබාදෙන බවට පවසා ලබාගෙන තිබූ එම වකුගඩු සඳහා මුදල් ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසියට එම වකුගඩු ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබිණි.