ශ්‍රියානි විජේසිංහ –
ශ්වසන අපහසුතාවයකින් පෙළෙන බැවින් ද, සිරෝසීස් රෝගය , පෙනහළු හා අගන්‍යාශය ආශ්‍රිත රෝගී තත්ත්වයන්වලින් පසුවූ බැවින් ද ලොහාන් රත්වත්තට බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කළයුතුවා සේම වැඩිදුර රෝග විමර්ශනය සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම අවශ්‍ය බව බන්ධනාගාර රෝහල් වාර්තාවේ සඳහන්ව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව හෙට (04) ඔහු කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියගේ අධීක්ෂණයට ලක්කිරිමට නියමිතව ඇත.
ඔහු මෙම නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ලොහාන් රත්වත්ත බන්ධනාගාර අමාත්‍යවරයාව සිටි බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයිමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගයේ සටහන් කර තිබූ බවය.
හොරකමක් සම්බන්ධ අපරාධයකට බන්ධනාගාරගතවන හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා
බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 31 වැනි දින සිට නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත. ඔහුට විශේෂ ආරක්ෂාවක් ද සපයා ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් මේ වන විට ඔහුව වෛද්‍ය පරික්ෂාවන්ට ලක්කර ඇති අතර හෙට දිනයේදී කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලේ රෝගීන් පරික්ෂාවට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරිය වෙත ලොහාන් රත්වත්ත යොමුකිරිමට නියමිත අතර ඇයගේ නිර්දේශයන් මත ඔහු තවදුරටත් බන්ධනාගාර රෝහලත තුළ ප්‍රතිකාර ලැබිය යුතු පුද්ගලයෙක්ද නැද්ද යන්න තීරණය වනු ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
නිති විරෝධීව එකලස්කළ වාහනයක් ව්‍යාජ අංක තහඩු යොදාගෙන භාවිතා කර පසුව එම වාහනය ස්වකීය බිරියගේ මිරිහානේ පිහිටි නිවසක සඟවා තැබීමත්, වාහනය සම්බන්ධව සිය දිවි නසාගත් තම ලේකම්වරයාගේ පාවා දෙමින් බොරු ප්‍රකාශ ඉදිරිපත් කර පොලිසිය නොමග යැවීමත් ඇතුළු චෝදනා රැසකට අධිකරණයට ඉදිරිපත් කළ ලොහාන් රත්වත්ත ලබන 07 වැනිදා දක්වා බන්ධනාගාරගත කරනු ලැබුවේය.







