රටේ අනාගත පරපුර ඇපයට තබා ලැබුණු අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වාරිකය සම්බන්ධයෙන් උදම් ඇනීම හෝ උත්සවාකාරයෙන් සැමරීම අමනෝඥ ක්‍රියාවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ණය වාරිකය ලබාදීමට සූදානම් බව කියමින් ඊයේ පස්වරුවේ සිට රජය ඒ මත සිට ප්‍රකාශ නිකුත් කිරීම ඉහළින් කතා කිරීම තුළ පොදු මහජනතාව අවබෝධ කරගෙන සිටින්නේ එම මුදලින් රටේ ආර්ථික ගැටලු විසඳිය හැකි යැයි කියාය. එය සම්පූර්ණයෙන්ම වැරදි සිතිවිල්ලක් බවත් මෙය නැවත ගෙවිය යුතු ණය මුදලක් බවත් ජනතාව අවබෝධ කරගත යුතු යැයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේය.
මේ වනවිට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන තිස් හයකට ආසන්න මුදලක් ලෝකයට ණය වී ඇති බවත් තවදුරටත් ණය මත යැපෙමින් ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට සැලසුම් සකස් කිරීම දරුණු පිරිහුණු ආර්ථික අගාධයකට යෑමක් බවත් හෙතෙම කියා සිටී.
මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ලෝකයට ණය වීම නොව දේශීය ආර්ථිකය ගොඩ නංවා අපනයන ආර්ථිකය වර්ධනය කරමින් ඩොලර් උපයන මාර්ග සකසා ණය ගෙවීමට මගක් සොයා ගැනීම යැයි ද මහාචාර්ය වසන්ත අතුකොරල මහතා පවසයි.
ලැබෙන ණය මුදල අකාර්යක්ෂම වියදම් කරමින් කෙටිකාලීන සතුටු වීමක් මත තවදුරටත් රටේ ණය වැඩි වෙනවා මිස රටේ ආර්ථිකය නිවැරදි දිසාවකට ගමන් නොකරන බවද ඒ මහතා පෙන්වා දෙන්නේය.
ණය මත යැපෙන ආර්ථිකය වහා නතර කර දේශීය ආර්ථිකය ගොඩ නැංවීමට නම් රටේ නිෂ්පාදන හා සේවා ඉහල තලයකට ගෙන යමින් , නව ආර්ථික උත්පාදන ක්‍රම පිළිබඳ ආර්ථික විශේෂඥයන්ගේ සහාය මත සැලසුම් සකස් කර ඒ මත දේශීය ආර්ථිකය නංවාලීමට පියවර ගත යුතු බවද හෙතෙම කීය
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ණය වාරිකය ලබා දීම හරහා තවදුරටත් සිදුවන්නේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සහ ණය ලබා දෙන විදේශිය මූල්‍ය ආයතන වල ණය ශ්‍රී ලංකාවට ලැබීමත් වෙනත් රටවල් ණය දීමට යොමු වීමත් මත ශ්‍රී ලංකාව ලෝකයේ දිගුකාලීන ණය කරුවකු වීම පමණක් බව ද මේ හේතුවෙන් අනාගත පරපුර කිසිදා හිස ඔසවන්නේ නැති ආර්ථික පීඩිතයින් බවට පත්විය හැකි බව ද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියා සිටියේ