මනම්පිටිය නිමල් ජයරත්න –
රජය මගින් ලබාදෙන කුමන පොහොරක් යටතේ හෝ පාඩු ලාභ සිදුවූවත්, තමන්ගේ පරිභෝජනයටවත් මෙවර මහ කන්නයේ වී වගා කටයුතු සිදු කිරීමට මූලික වැඩ කටයුතු සිදුකර ගන්නා ලෙස, ගොවීන්ගේ අයිතින් දිනා ගැනීමට නායකත්වය ගත් හිමිනමක් ලෙස පොළොන්නරුව ඇතුළු වී වගා කරන අනිකුත් දිස්ත්‍රික්කවල ගොවිජන ජනතාවගෙන් ඉල්ලා සිටින බව පුලතිසි ගොවි වෙළඳ පාරිභෝගික සංවිධානයේ ප්‍රධාන අනුශාසක, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවැසූහ.
වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී අද ( 10 ) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් රාහුලාලංකාර නාහිමියෝ ඒ බව සඳහන් කළහ.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එම සංගමයේ කැදවුම්කරු එච්.එම්.එස්.කේ.නිශ්ශංක, ඇතුළු එම සංගමයේ සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ මෙලෙස ද පැවසූහ.
“ අපි පහුගිය දවස්වල පොළොන්නරුවේ ගොවීන් සමග එකතුවෙලා රසායනික පොහොර වී වගාව සඳහා ලබා දෙන ලෙසට බල කරමින් රජයට විරුද්ධව උද්ඝෝෂණය කළා. ඇලහැර සහ මොරගහකන්ද ගොවිජන ව්‍යාපාරවල ගොවීන් එකතුවෙලා දින දහයක් අඛණ්ඩ උපවාසයකුත් කළා. ගොවීන් එකතුවෙලා රට හැම තැනම අරගල ක්‍රියාත්මක කළා.“
“නමුත් රජය ඇහුම්කන් දුන් නෑ. රසායනික පොහොර ලැබෙන පාටකුත් නෑ. ඉතින් මම සමස්ත ගොවි ජනතාවගේ ඉල්ලීමක් කරනවා අපේ දරුවන් බඩගින්නෙ තියනන් නැතුව අඩුම තරමේ තමන්ගේ කෑමට හෝ පුළුවන් විදිහෙන් ලබාදෙන පොහොර වලින් වී ටිකක් වගා කරන්න කියලා.“
“එහෙම නොවුණොත් අපිට ලබන කන්නය වෙනකොට හාල් කිලෝ එකක් රුපියල් තුන් හාර සීයට ගන්න සිද්ධ වේවි. ඒ නිසා තමන්ට පුළුවන් ආකාරයෙන් තමන්ගේ කුඹුරේ වී ටිකක් වපුරා ගන්න කියලා මම පොලොන්නරුවේ ගොවී ජනතාවගෙන් වගේම අනිකුත් දිස්ත්‍රික්ක වල වී වගා කරන ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා . අපි ඇලහැර ගොවි උද්ඝෝෂණය නතර කළේ වපුරන කාලයේ දී හෝ රජය රසායනික පෝර ටිකක් ලබාදෙයි කියන විශ්වාසයෙන්.“
අ“ඩුම තරමේ 50% කෝ රසායනික පෝර ලබාදීලා ගොවියා වී වගා කිරීමට පෙලඹූවුවහොත් සහල් වී හිඟයට වගේම සාගතයෙන් බේරෙන්න පුළුවන්. එහෙම නොමැතිව ගොවියා මේ මහා කන්නයේ වී වගාවෙන් ඉවත් වුණහොත් අපේ රටේ මිනිස්සුන්ට එක බත් වේලක් කන්න වේවි. මම මේ ගොවි උද්ඝෝෂණ වලට උපවාසවලට
මැදිහත් වුණේ ගොවීන් නිසා තමයි අපිට දාන වේලක් ලැබෙන්නේ. පන්සල් දියුණු වෙන්නේ. ඒ නිසා අපේ . වගකීමක් යුතුකමක් වෙනවා මේ මොහොතේ ගොවීන් දිරි ගන්වලා වගාවට යොමු කරවන්න.“
“රජය කියනවා ලබා දෙන කාබනික පොහොර වලින් වී වගා කරලා ගොවියාට පාඩු විඳින්න සිදුවුණොත් ඒ වෙනුවෙන් වන්දි ගෙවනවා කියලා. අපිට ඒවා විශ්වාස කරන්න බෑ. නමුත් එහෙම නොවුණොත් අපි දිවි පරදුවට තබලා ගොවියා වෙනුවෙන් ඒ වන්දි ලබා ගන්නත් මීට් වඩා ශක්තිමත්ව උපවාස උද්ඝෝෂණ අරගලවලට සම්බන්ධ වෙනවා කියලා මම රජයට මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඒ නිසා අහසින් වර්ෂාවක් ලැබෙන මොහොතේ. ලබාදෙන පොහොර වලින් වී වගා කටයුතු ආරම්භ කරන්න කියලා මම නැවත නැවතත් සමස්ත ගොවි ජනතාව ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.“