මනම්පිටිය නිමල් ජයරත්න –
වසර එකහමාරකට ආසන්න කාලයක් එකතු වී තිබෙන රුපියල් ලක්ෂ 57 ක විදුලි බිල රුපියල් ලක්ෂය බැගින් මාසිකව වසර පහක් තුළ ගෙවන අතරේ මාසික විදුලි බිල ගෙවාගෙන යෑමට ඇති කරගත් එකඟතාවයක් මත දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කළ විදුලිය යළි ලබා දීමට විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර එකඟ වී තිබේ.
ඉකුත් 24 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයාබැලීම සඳහා මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුළු පිරිසක් අද (29) දහවල් එම ආරණ්‍ය සේනාසනයට ගොස් නායක ස්වාමීන්වහන්සේ හා වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව භික්ෂූන්වහන්සේ ගේ යෝජනාවක් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් විසින් විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර වෙත දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.
මෙහිදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියන් සඳහන් කළේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සේනාසනයේ මහා කාශ්‍යප මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙසියකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව ඇති බවය.
විදුලිබිල කළමනාකරණය කරගැනීම සඳහා ස්වාමීන්වහන්සේලා වැඩවාසය කරන කුටිවලට වෙනම විදුලි මීටර් සවි කිරීමත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට සූර්ය විදුලි ජනක මගින් විදුලිය ලබාදීමට රජයේ අවධානය යොමු කරවීමත් වැදගත් බව චේතියා ලංකාර නා හිමියෝ මෙහෙදී සඳහන් කළහ.